දෙසැම්බර් 31ට පෙර එන්නේ රටවල් 11ක්‌ හෝදන මාරක සුනාමියක්‌ ද?

දෙසැම්බර් 31ට පෙර එන්නේ රටවල් 11ක්‌ හෝදන මාරක සුනාමියක්‌ ද?

ලොව පළමුවැනි සුනාමිය හටගත්තේ කවදද? ඒ දිනය ගැන හරියාකාර ඓතිහාසික සාක්‍ෂි නැති නමුදු වාර්තාගත ඉතිහාසයට අයත් පළමු සුනාමිය මෙයට අවුරුදු හාරදහසකට පෙර සි

මගෙන් අහනවා ඇයි ෆේස් බුක් එකේ වයිෆ්ගේ ෆොටෝස් නැත්තේ කියලා – ධනංජය
අම්මා මගේ අත් අල්ලාගත්තා තාත්තා තෙල් හැන්ද රත්කර පිච්චුවා – සංවේදී කතාවක්
පුහුණුකරුට ආශ්චර්යයන් කළ නොහැකියි – තිසර

ලොව පළමුවැනි සුනාමිය හටගත්තේ කවදද?

ඒ දිනය ගැන හරියාකාර ඓතිහාසික සාක්‍ෂි නැති නමුදු වාර්තාගත ඉතිහාසයට අයත් පළමු සුනාමිය මෙයට අවුරුදු හාරදහසකට පෙර සිරියානු සමුද්‍රයේදී සිදු වී ඇත. ඊට පසු මෙයට වසර 3600 කට පෙර ග්‍රීසියට කිට්‌ටු ක්‍රීට්‌ දූපත අවට සිදු වූ සුනාමියකින් මිනෝවාන් නමැති සංස්‌කෘතියක්‌ එහෙම පිටින්ම වැනසී ගියේය. මිනොවාන් මිනිස්‌සු මෙයට වසර 5300 කට පෙර ඇරඹුණු ලෝකඩ යුගයේ දරුවෝය. ඔවුහු මූලික අත්අකුරු කලාවක්‌ ඇති කළ පිරිසකි. ඒ අතර වාර්තාගත ඉතිහාසයේ ලොකුම සුනාමිය 1458 දී ඇලස්‌කාව අසල හටගත්තේය. මෙයින් නැගුණු රළපහර අඩි 1720 ක්‌ දක්‌වා ඉහළ නැගුණේය. මේ සුනාමි රළ ආපසු මුහුදට යන විට ගොඩබිම තිබූ ගල් සහ පස්‌ ඝන යාර හාරකෝටියක්‌ රැගෙන ගියේය.

කෙසේ වුවද ලංකාවට ආසන්න රටක්‌ වූද, ගංවතුර උවදුරින් නිතර පීඩා විඳින රටක්‌ වූද, බංගලාදේශය හා සම්බන්ධ වූ සුනාමි කතාවක්‌ ඔබට කියමු. පසුගිය ශතවර්ෂයේ දෙවැනි කාර්තුවේදී එකල නැගෙනහිර පාකිස්‌තානය ලෙස හඳුන්වන ලද බංගලාදේශයේ ජීවත් වූ කොමියුනිස්‌ට්‌ මතධාරී ලේඛකයකු වූ ශහිදුල්ලා කායිසේර් 1962 දී නැවියාගේ බිරිඳ යනුවෙන් පොතක්‌ ලිවීය.

මේ පොතේ කතානායකයා නැවියෙකි. ඔහුගේ තරුණ බිරිඳ ඉතා සුරූපී ය. ඔවුන් ජීවත් වූ ගමේ සිටි ධනවත් සහ වංශවත් සල්ලාලයෙක්‌ ඇය ගිල ගැනීමට බලා සිටියේය. මේ අතර නැවියා තම රැකියාව සඳහා සමුද්‍රගත විය. ඉන් දින කිහිපයකට පසු බිරිය කෙත් වත්තක්‌ මැදින් යන විට වංශවතා ඇය කැලයට ගෙන ගොස්‌ දූෂණය කිරීමට තැත් කළේය. එහෙත් ඔහු සමඟ පොරබදන ඇය ඔහුගේ යටිබඩට, දරුණු ලිංගික ප්‍රහාරයක්‌ එල්ල කර සිහිසුන් කිරීමෙන් අනතුරුව පලා ගියාය. එහෙත් මේ කතාව ගම පුරා පැතිර ගියේ තරුණිය වංශවතා වෙතින් කෙළසුණු ලෙසය. මේ අතර නැවියා ගම්බලා ආවේය. ඒ අතර තම බිරියට වූ විපත ගැන ඔහුට ආරංචි විය. බලවත් කෝපයටත් ශෝකයටත් පත්වන ඔහු සිය බිරිය ප්‍රතික්‍ෂේප කළේය. මේ අතර දිනෙක මුහුද ගොඩගැලුවේය. එය ඉතා දරුණු සුනාමියකි. මුළු ගමම ඉන් විනාශ වූ නමුදු නැවියා සහ බිරිය පමණක්‌ නොමැරී ඉතිරි වූහ. බිරියගේ කතාවට සවන් දෙන සැමියා ආපසු ඇය සමඟ ජීවිතය පටන් ගත්තේය. මේ කතාව සුඛාන්තයකි. එහෙත් ලේඛක ශහිදුල්ලා කායිසේර්ගේ කතාව ශෝකාන්තයක්‌ම විය.

1971 දී පාකිස්‌තානයෙන් වෙන්වීමට බංගලාදේශය සටන් පටන් ගත් කාලයේදී පාකිස්‌තාන් යුද හමුදාව බංගලාදේශයේ දේශප්‍රේමීන් සහ බුද්ධිමතුන් සංහාරය කරන්නට පටන් ගත්තේය. මේ අතරේ සටනේ 1971 දෙසැම්බර් 14 වැනිදා ශහිදුල්ලා කායිසේර් පැහැර ගන්නා ලදී. ඔහු කවදාවත් ආපසු ගෙදර ආවේ නැත. මේ කතන්දරයෙන් කියන්නේ කුමක්‌ද? සුනාමිය අද මෙන්ම එදත් තිබූ බවය. මිනිසුන් උස්‌සා මැරීම අද මෙන්ම එදත් තිබුණු බවය.

මෙයට මාස දෙකකට පමණ පෙර මේ අවුරුද්දේ ඔක්‌තෝබර් 20 වන දාතම යටතේ ඉන්දියානු අගමැති නරේද්‍ර මෝදි ට ලියුමක්‌ ලැබිණ. ලිපිය එවා තිබුණේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ජීවත්වන බාබු කාලයිල් නමැති මහාචාර්යවරයෙකි. ‘අනතුරු හැඟවීමයි’ යන උධෘතය යටතේ ලියන ලද එම ලිපියේ මෙසේ සඳහන් විය. ගරු මහත්මයාණෙනි, මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ඉන්දියානු සාගරය තුළ භූමිකම්පාවක්‌ හට ගැනීමට නියමිතය. මෙය ඉතා බලගතු භූ කම්පනයක්‌ බැවින් ආසියානු මහාද්වීපයේ සමස්‌ත වෙරළ ප්‍රදේශයම මේ මගින් චලනය වනවා ඇත. මේ නිසා ඇතැම් වෙරළ තීරයන් සම්පූර්ණයෙන් ම අතුරුදන් වනු ඇත. අලුත් වෙරළ තීරයන් නිර්මාණය වනවා ඇත. ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්‌තානය, නේපාලය, බංගලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්‌ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් 11 ට ද ගල්ෆ් රටවලට ද බලපානවා ඇත. මේ කාලය තුළ ‘ශිෂ්ටා’ නමැති දරුණු කුණාටුව හටගන්නා අතර එහි වේගය පැයට කි. මී. 120 සිට 180 දක්‌වා වනු ඇත. මෙහි ප්‍රතිඵලය දරුණු වැසි හා ප්‍රචණ්‌ඩ රළ ය. ඉහත සඳහන් තොරතුරු මා විසින් සම්පාදනය කරන ලද්දේ අධි මානසික බලය යොදාගෙනය. ස්‌තුතියි. මෙයට හිතවත් බාබු කාලයිල්.

මේ ලියුම අගමැති කාර්යාලය තුළ රහසිගතව තබන ලද නමුත් ඊළඟ මාසය (නොවැම්බර්) වන විට අන්තර්ජාලයට නිකුත් විය. බාබු කාලයිල් මහාචාර්යවරයකු යෑයි කියන නමුදු ලිපියේ ඉංග්‍රීසි ව්‍යාකරණ සහ අක්‍ෂර වින්‍යාසය වැරදි රැසක්‌ ම තිබිණි. සුනාමියෙන් රටවල් 11 කට හානි වන බව ලිපියේ තිබුණ ද එහි නමින් සඳහන් වූ රටවල් ගණන 10 කි. බාබු කාලයිල්ට මහාචාර්ය පදවියක්‌ ප්‍රදානය කර තිබුණේ කවර විශ්වවිද්‍යාලයකින් ද යන්න කවුරුවත් දැන සිටියේ නැත. ‘චිත්ත ශක්‌තිය පිළිබඳ බී. කේ. පර්යේෂණායතනය’ යනුවෙන් ඔහුගේ ලිපි ශීර්ෂයේ සඳහන් විය. එම යෙදුම යටින් වරහන් තුළ තිබූ වගන්තියකට අනුව පෘථිවිය සහ අභ්‍යවකාශය පිළිබඳ අනාවැකි පළ කිරීම එම ආයතනයේ කටයුත්තය.

මහාචාර්ය බාබු කාලයිල් තම උපන් බිම වූ කේරළ ප්‍රාන්තය තුළ ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකි. මෙයට කලකට පෙර කේරළයේ ගුවන් විදුලි චැනලයක නිවේදකයකු වූ බීජු මැතිව්, බාබු කාලයිල් සමඟ සජීවී සාකච්ඡාවක්‌ පවත්වමින් අධි මානසික ශක්‌තියෙන් අනාවැකි කියන්නේ කෙසේ දැයි විමැසීය. එවිට මහාචාර්ය කාලයිල් මෙසේ කීවේය. මට කිසියම් අනාගත විපතක්‌ හෝ අනාගත සිද්ධියක්‌ දැනෙන්නට ළං වුණාම මගේ ශරීරය සහ මොළය තුළ අධික උණුසුමක්‌ හට ගන්නවා. එතැන් පටන් මට සිදුවීම් පෙළක්‌ පෙනෙනවා. එය හරියටම චිත්‍රපටයක්‌ බැලුවා වගේ පැහැදිලිව මගේ මනසේ සටහන් වෙනවා. 2017 සුනාමිය ගැන තොරතුරු මා දුටුවෙත් එහෙමයි. ඒ එක්‌කම අධි මානසික ශක්‌තිය හරහා මට දැන ගන්නට පුළුවන් ඒ සිදුවීම් කවර අවස්‌ථාවක කවර තැනක සිද්ධ වෙනවද කියන එක. ස්‌වාභාවික ව්‍යසනයකදී කල්තියා ප්‍රවේශම් වන්නට මට මේ කුසලතාව උපයෝගී වෙනවා.

ඉන්දියාවේ තිබෙන ඉතාම විශ්වසනීය පුවත්පතක්‌ වන The Hindu පුවත්පත වසර 2005 සැප්තැම්බර් 6 වැනි අඟහරුවාදා පළකළ පරිදි බාබු කාලයිල් පිස්‌සකු හෝ මෝඩයකු නොව චිත්ත බලයෙන් සැබෑ අනාවැකි පළ කළ කෙනෙකි. එම වසරේදී බාබු කාලයිල්ගේ චිත්ත බලය ගැන පරීක්‍ෂා කිරීමට ගිය පර්යේෂණ කණ්‌ඩායමකට කේරළ විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයෙන් එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී. කේ. රේණුකා සහභාගි වී ඇත. ඒ හින්දා ග්‍රහ වස්‌තුවල ගැටීම්, ග්‍රහ වස්‌තුවල ගමන් මඟ වෙනස්‌ වීම, භූමි කම්පා, පෘථිවිය උෂ්ණත්වය ඉහළ යැම, වැනි කරුණු ගැන සාර්ථක අනාවැකි බාබු කාලයිල් පළකර ඇත. මහාචාර්ය රේණුකා ඔහු ගැන සෑහීමකට පත්ව ඇත. මහාචාර්ය ජී. කේ. රේණුකා යනු ස්‌වභාවධර්මයේ විශිෂ්ට නිර්මාණයකි. ඇයට ආචාර්ය උපාධි 15 ක්‌ ඇත. ශාස්‌ත්‍රපති උපාධි 20 ක්‌ ඇත. මහාචාර්ය රේණුකා කියන පරිදි අඟහරු මත ජලය ඇති බව විද්‍යාඥයන් දැන ගන්නේ 2001 වසරේ සැප්තැම්බරයේ වුවද, බාබු කාලයිල් 2001 අගෝස්‌තු 2 වැනිදා ඒ බව දැනගෙන ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔහු මාසයක්‌ ඉස්‌සර විය. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි බාක්‌ලි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පෘථිවියට ආලෝක වර්ෂ 50 ක්‌ ඈතින් පිහිටි අලුත් ග්‍රහලොවක්‌ 2004 දී හඳුනා ගත්හ. බාබු කාලයිල් 1998 දී එය හඳුනාගෙන තිබිණි.

ස්‌වභාවධර්මයේ සිදුවන දැ ගණනය කර ඒ ඔස්‌සේ අනාවැකි කීම ඉන්දියානු ජාතික පැරැන්නන්ගේ හැකියාවකි. කේරළයේ ඉදක්‌නි දිස්‌ත්‍රික්‌කයේ ජීවත්වන 70 හැවිරිදි ජෝෂප් කූරියන් මේ හැකියාව සහිත ගොවියෙකි. ‘බත් කූරන් රංචුවක්‌ පොළවෙන් අඩි 3 ක්‌ ඉහළින් වටේට කැරැකෙනවා නම් එයින් කියෑවෙන්නේ මෝසම් වැස්‌ස ළඟ බවයි. ඒ සතාම රංචුව පිටින් අඩි 15 ක්‌ ඇවිත් අහසේ කැරකෙනවා නම් එයින් කියන්නේ වැසි කාලය නිම බවයි. තවත් සමහර ගොවියන් කියන පරිදි තණ බිස්‌සක්‌ මත රවුම් හැඩයේ මකුළු දැල් බැඳ තිබුණොත් එයින් කියෑවෙන්නේ වැහි කාලය අවසන් බවයි. මකුළුවන් පොළොවේ දැල් බඳින්නේ වැහි කාලය ඉවර බව නිසැකවම දන්නවා නම් විතරයි. කිසියම් පළාතක ගහකොළ අස්‌වාභාවික විදියට පොළොවට නැමෙනවා නම් ස්‌වභාවික ව්‍යසනයක්‌ අත ළඟයි. භූමි කම්පාවකට ඉස්‌සර ගුල්වල ජීවත්වන සතුන් වන හාවන්, මීයන්, ලෙහෙනුන්, නාගයන් වැනි අය පිටතට එනවා. බල්ලන් බුරමින් දුවන්නට පටන් ගන්නවා. එය ද නූගත් ඉන්දියානු ගොවියකුගේ අනාවැකි දැක්‌ම පිළිබඳ ප්‍රකාශනයකි.

බාබු කාලයිල්ගේ සුනාමි අනාවැකිය මේ මොහොතේදී විද්‍යාඥයන් විසින් තරයේ බැහැර කරනු ලැබේ. එහෙත් ඔහු කියන්නේ තම අනාගත දැක්‌ම නිවැරැදි බවය. ඒ අනුව යම් හෙයකින් මේ දෙසැම්බර් 31 ට පෙර සුනාමියක්‌ ආවොත් එය කලින් කීමේ ගෞරවය බාබු කාලයිල්ට ලබා දී උපහාර පුද කළ යුතුය. එහෙත් බාබු කාලයිල්ම කියන පරිදි එය ‘රටවල් හෝදන’ මහත් විනාශකාරී සුනාමියක්‌ නිසා උපහාර පිදීමට ඔහු පනපිටින් සොයා ගැනීම ප්‍රශ්නයක්‌ වනු ඇත.

අනුර සොලමන්ස්‌

පෙර පුවත්
2017 දෙසැම්බර් 31ට පෙර ලංකාවට බිහිසුණු සුනාමියක්

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close