හිස් සෝකේස් ටිකකින් සියනෑ කෝරළය දිනූ පුරසඳ සුනිල්

හිස් සෝකේස් ටිකකින් සියනෑ කෝරළය දිනූ පුරසඳ සුනිල්

අවුරුදු තිස් දෙකක් ව්‍යාපාර ලෝකයේ නොසැලී ඉන්නවා කියන්නෙ හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. ‘පුරසඳ’ කියන්නෙ අවුරුදු තිස්දෙකක් පාරිභෝගිකයන් අතර විශ්වාසය

“ඇත්තටම මට චතුරිකාගේ ආදරේ හොඳටම දැණුනා..” – ප්‍රගීත් රත්නායක – Exclusive
බලාගෙනයි, ‘ගුවනින් අසූචි’
බුද්ධි අංශ ලබාදුන් වාර්තාවෙන් ශ‍්‍රීලනිපය හතරවැනියා..

අවුරුදු තිස් දෙකක් ව්‍යාපාර ලෝකයේ නොසැලී ඉන්නවා කියන්නෙ හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. ‘පුරසඳ’ කියන්නෙ අවුරුදු තිස්දෙකක් පාරිභෝගිකයන් අතර විශ්වාසය දිනාගත්තු සමූහ ව්‍යාපාරයක්. හිස් සෝකේස් ටිකකින් ආරම්භ කරපු සළු පිළි ව්‍යාපාරය සමූහ ව්‍යාපාරයක් දක්වා ආව ගමනක මං සලකුණු ගැන කතා කරන්න අපි කඩවත පුරසඳ ආයතනයට ගොඩ වුණා. මේ පුරසඳ නිර්මාතෘ සුනිල් විජේවර්ධන මහතා සමඟ Gossip Lanka 9 කරන ලද සංවාදයකි.

බිස්නස් පටන්ගන්න තැනින්ම අපි මේ කතා බහත් පටන් ගමු නේද?
මගේ තාත්තගේ හොඳම යාළුවාට ව්‍යාපාරයක් තිබුණා. ඒ වෙද්දි අන්තිමටම විනාශ වෙලා ලොකු ණය බරකින් වැහිලා යන තත්ත්වයට පත්වෙලා තිබුණේ. ඒ ණය බරත් එක්ක තමයි මං භාර ගත්තේ. තාත්තගේ ඒ යාළුවා වුණු පුරසිංහ මුදලාලි එක්කම හවුල් ව්‍යාපාරයක් විදියට තමයි මුලින්ම පවත්වා ගෙන ගියේ.

ආරම්භ වුණේ 1985 අවුරුද්දෙ. ඒ වෙනකොට ක්ෂේත‍්‍රය ගැන මොන වගේ අවබෝධයක් ද තිබුණේ? ඇත්තම කිව්වොත් ව්‍යාපාර ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒත් සාමාන්‍ය හැකියාවක් ඇගේ තිබුණා. තාත්තගේ හිතවතාගේ පුතා ඉලෙක්ට්‍රොනික් බිස්නස් එකක් කරලා හොඳටම අසාර්ථක වෙලා හිටියේ. කරගන්න කිසිම දෙයක් නැතිව අපිට භාර දුන්නෙ. හිස් සෝකේස් ටිකක් විතරයි තිබුණේ. මම එතන රෙදි ව්‍යාපාරය පටන් ගත්තා. මූල්‍යමය දායකත්වය දුන්නේ මගේ අක්කා. කොහොම හරි අවුරුදු දෙකක් ඇතුළත සම්පූර්ණ ණය මුදල ගෙවා ගන්න පුළුවන්කම ලැබුණා.

සම්පූර්ණයෙන්ම බංකොළොත් වුණු ව්‍යාපාරයක් ඒ තරම් කෙටි කාලයකින් සාර්ථක වුණේ කොහොමද ?
දැඩි කැපවීමකින් උත්සාහයකින් වැඩ කළා. ඒ වගේම ලාභ ලබන මට්ටමට දියුණු කරගන්නවා කියලා ලොකු අධිෂ්ඨානයක් තිබුණා. අවුරුදු දෙකක් යද්දි ප‍්‍රතිඵල ලැබෙන්න පටන් ගත්ත ප‍්‍රසිද්ධ සමාගමි හා ව්‍යාපාරිකයින්ගෙන් ලබාගෙන තිබූ ණය මුදල් හා ආදායම්බදු දෙපාර්තමේන්තුවට ගෙවීමට තිබු හිඟ මුදල් සහන කාලයක් ලබාගෙන වාරික වශයෙන් ගෙවා නිමකලා. මෙම ණය මුුදල ගෙවීමට හේතු වුයේ එවකට බංකොලොත්ව තිබු පුරසඳ ව්‍යාපාරයේ නම ගත් නිසා. තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් තමයි ව්‍යාපාරික ස්ථානය වුණේ. ඒකත් කුලියට හිටියේ. 1990 විතරවෙද්දිමට ඒ ස්ථානය අයිතිකරුවන්ගෙන් මිල දී ගන්න පුළුවන් වුණා.

හිස් සෝකෙස් ටිකකින් පටන් ගත්තු ගමනේ හීන ටික ටික හැබෑ වෙන්න පටන් ගත්තා නේද?
ඔව් හිස් සෝකෙස් ටික විතරයි ඇත්තටම තිබුණේ. ඇල්පෙනිත්තක් වත් ඉතුරු වෙලා තිබුණේ නැති බිස්නස් එකක් මං භාර ගත්තෙ. සෝකෙස් ටික ගෙනියන්න බැරි නිසා ඉතුරු වෙච්ච දෙයක්. කොහොම හරි ඒ මුදලාලි මුලින්ම කරලා තිබුණෙත් රෙදි බිස්නස්. ඒ නිසා මගේ බිස්නස් එකට ඒ සෝකේස් ටික පාවිච්චි කරන්න පුළුවන් වුණා.

ඇයි බිස්නස් කරන්න රෙදි වගේ දෙයක්ම තෝර ගත්තෙ?
ඒක මටත් හිතාගන්න බෑ. මෝටර් රථ අමතර කොටස් ව්‍යපාරයක් පටන් ගන්න තමයි සැලසුම තිබුණේ. අපේ ගෙවල් ළඟ ඒ කාලේ ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහු ලංකවේ මේ වෙද්දි ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඔහුට ඒ දවස්වල වාහන පදවන්න බෑ. ඒ නිසා මම තමයි ඔහුගේ වාහනේ පැදෙව්වෙ. ඉතින් ඔහුත් මට නිතරම කිව්වෙ වාහන අමතර කොටස් ව්‍යාපාරයට අත තියන්න කියලා. ඒත් දෛවෝපගත විදියට මම තෝරගත්තෙ රෙදි ව්‍යාපාරය. සාර්ථකත්වයේ ගමන ආරම්භ වුණේ එතනින් කියලයි මං විශ්වාස කරන්නෙ. මේ ස්ථානය මිලදී ගත්තට පස්සෙ ටිකෙන් ටික තනි තට්ටුව තට්ටු හතර දක්වා ගොඩනගාගන්න පුළුවන්කම ලැබුණා. 1995, 1996 වෙද්දි අවට ව්‍යාපාරික ස්ථාන කිහිපයකුත් මිලදී ගන්න අවස්ථාව උදා වුණා. ඒකෙන් රෙදි පිළි වලින් පටන් ගත්ත ව්‍යාපාරය නිමි ඇඳුම් තෑගි භාණ්ඩ දක්වා වර්ධනය වුනා.

මුලින්ම දේශීය රෙදි පිළිවලටද නැත්නම් විදේශීය නිෂ්පාදන වලට ද?
මුලින්ම යාළුවෙක්ගේ මාර්ගයෙන් ඉන්දුනීසියාවට ගියා. කරදර ගොඩක් වෙලා තමයි මුලින්ම රෙදි තොගය අරගෙන ආවේ. නිමි ඇඳුම් ගේන්න පටන ගත්තට පස්සෙ චීනය, තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං, ඉන්දුනීසියාව වගේ රටවලින් ගෙන්නන්න පටන් ගත්තා.

අවුරුදු දෙකක් වගේ කාලෙකින් හිතුවටත් වඩා සාර්ථක වුණේ ඒ කාලේ බිස්නස් එකට තරඟකාරයෝ හිටියේ නැද්ද ?
තරඟකාරයෝ හිටියා. ඒ තරඟයට මුහුණ දීමේ හොඳ ආත්ම ශක්තියක් මට තිබුණා.

වර්තමාන කඩවත කියන්නෙ දියුණු වෙළඳ නගරයක්. අළුත් තරඟකරුවෝ විශාල ප‍්‍රමාණයක් ඒ අතර රෙදි පිළි කර්මාන්තය ආක‍්‍රමණය කරලා තියෙනවා නේද?
ඔව් මෑතකදී එහෙම තරඟකරුවෝ විශාල සංඛ්‍යාවක් බිහි වුණා. ‘කැන්ඩි’ කියන ආයතනය බිහි වෙනකොට බහුතරයක් හිතුවේ අපේ ව්‍යාපාර වැහිලා යයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. අපිට තව තවත් ඉහළට එන්න ඒවා ශක්තියක් වුණා. මම මේ ව්‍යාපාරයෙන් තවත් ව්‍යාපාර වලට යොමු වුණා. ෆාමසි බේකරි වගේ ක්ෂේත‍්‍ර වලටත් යොමු වුණ නිසා අපේ ව්‍යාපාර ලෝකය තව තවත් පුළුල් වුණා. ඒකෙන් අපිට සමාජ සුබ සාධනය වෙනුවෙනුත් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වෙලා තියෙනවා.

ඒ කොහොමද සුබසාධන කටයුතුවලට යොමුවුණේ?
ප‍්‍රබල ව්‍යාපාරික හිතවතෙක් තමයි මාව ඒ පැත්තට යොමු කළේ. මුලින්ම කඩවත ව්‍යාපාරික සංගමයේ භාණ්ඩාගාරික වුණා. ඊට පස්සෙ කඩවත තරුණ බෞද්ධ සමිතියේම විධායක සභාවට මාව එකතු කරගත්තා. 2000 වර්ෂයේදී තරුණ බෞද්ධ සමිතියේ සභාපති බවට පත් වෙනවා. මුලින් ඉතා කුඩාවට තිබුණු විධායක සභාව සභිකයන් 50ක් දක්වා වැඩි කරගන්න මට මේ වෙනකොට පුළුවන් කම ලැබිලා තියෙනවා. ඒ හරහා ලොකු වැඩකොටසක් කරගෙන යන්න පුළුවන් කම ලැබුණා. වැඩිහිටි නිවාසයක් බෙහෙත් ශාලාවක් වගේම අංග සම්පූර්ණ පුස්තකාලයක් කඩවත නගරයට දායාදකරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම කඩවත තරුණ බෞද්ධ පදනමේ නියෝජ්‍ය සභාපති ලෙසත් ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. එහි විධායක අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන සිංගප්පුරුවේ වැඩවසන නාකුලගමුවේ සුමන ස්වාමීන්වහන්සේගෙන් ඒ සඳහා විශාල දායකත්වයක් ලැබෙනවා. මේ වන විට රාගම රෝහලේ වාට්ටු පහක් ඉදි කරලා තියෙනවා. ලක්ෂ එකසිය පනහකට වැඩි මුදලක් ඒ සඳහා වැය වුණා.

රෙදි ව්‍යාපාරයකින් ආරම්භ කරපු පුරසඳ මේ වෙනකොට සමූහ ව්‍යාපාරයක් බවට පත් වෙලා. නිහතමානී ආඩබරකමකුත් හිතේ ඇති නේද?
ඇත්තටම ලොකු තෘප්තියක් තියෙනවා. පුතා ජීවත් වෙන්නෙ ඇමරිකාවේ. පුතා ඇමරිකාවේ පුරසඳ ඉම්පෝර්ට්ස් නමින් වාහන අලෙවිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ලොකු දුව නීතිඥවරියක්. අනිත් දුව මගේ ව්‍යාපාරයට සම්බන්ධයි. ඒ එක්ක අද පුරසඳ සමූහ ව්‍යාපාරයක් වෙලා. මේ හැමදේම පිටුපස යෝධ හෙවනැල්ලක් වුණේ මගේ බිරිඳ.

අවුරුදු තිස් දෙකක් ව්‍යාපාර ක්ෂෙත‍්‍රයේ නොසැලී ඉන්නවා කියන්නේ අභියෝගයක් ?
ඔව් ඒත් මිනිස්සු එක්ක තියෙන දැඩි සම්බන්ධය නිසාම ඒක එච්චර අමාරු දෙයක් වුණේ නෑ. ව්‍යාපාරිකයන්ටත් වඩා වෘත්තිකයෝ මාත් එක්ක සම්බන්ධ වුනා. අලෙවිකරරණයේදී වුණත් මිනිස්සුන්ට පාවිච්චි කරන්න බැරි දෙයක් විකුණලා නෑ. මිනිස්සු අඳින පළඳින විදිහ දිහා බලලා ඒ ඕන දේ අලෙවිකරණ ක‍්‍රමේ මං දැනගෙන හිටිය නිසා සාර්ථක වුණා කියලා මං විශ්වාස කරනවා.

මොනවද අනාගත ව්‍යාපාරික බලාපොරොත්තු?
හෝටලයක් ඉදි කරන එක තමයි මගේ ලොකුම ඉලක්කය. කිතුල්ගල ප‍්‍රදේශයේ මං ඉඩමක් අරගෙන තියෙනවා. ස්වාභාවික වනයකින් වට වෙලා. අව් රැස්වත් බිමට වැටෙන්නෙ නැති තැනක්. කැළණි ගඟට මායිම්ව පිහිටා තියෙන්නෙ. එක ගහක්වත් කපන් නැතුව ඒ ස්වාභාවික පිහිටීම ආරක්ෂා කරන් දෙස් විදෙස් සංචාරකයින්ට ඇවිල්ලා වීවේක සුවයෙන් නිස්කාන්සුවේ නිවාඩුවක් ගත කරන් පුළුවන් විදියේ තැනක් හදන්න ඕන. ඒක ව්‍යාපාරික අරමුණකට එහා ගිය මගේ හිතේ තියෙන ලොකු ආශාවක් කිව්වොත් හරි.

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close