සුමති ඔබ කැමති ඇති කලාකරුවන්ට කොන්දක් නැති

සුමති ඔබ කැමති ඇති කලාකරුවන්ට කොන්දක් නැති

සුමති සම්මාන උළෙලට තවත් ඇත්තේ දින 6 කි. එහි වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය සඳහා යෝ්ජනා වී ඇති නම් අතරේ මුල සිටම පෙරමුණේ පසුවුයේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයය

‘හෙනම ගහපන්‘ දුම්රිය මගීහු රියදුරන්ට නියාමකවරුන්ට සාප කරති
ඉරාජ්ගේ මියුසික් වීඩියෝව කලාකරුවන් පට්ට ගසයි
ආසියා කතුන් ලිංගික වහලුන් වෙලා

සුමති සම්මාන උළෙලට තවත් ඇත්තේ දින 6 කි. එහි වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය සඳහා යෝ්ජනා වී ඇති නම් අතරේ මුල සිටම පෙරමුණේ පසුවුයේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයයි. එය අරුමයක් හෝ ප්‍රාතිහාර්යක් නොවේ. මේ මොහොත වනවිට ලංකාවේ ජනප්‍රියම ටෙලිි නාට්‍ය කුමක්ද මේ පිිළිබද සවිඥානයක් ඇති ඕනෑම අයෙකු දන්නා සරල කාරණයකි. ඉතින් මේ කරණ ප්‍රකාශය දෙවෙනි ඉනිමට බෙහෙවින් අවාසි සහගත බව දැන දැනත් සිදු කරන්නේ සමස්ථ ටෙලිනාට්‍ය කලාව ගැනම ඇති කැක්කුම නිසාය. මෙවැන්නක් ලියන්නට ප්‍රධානතම හේතුව නෙතූ ටෙලිනාට්‍යට ලැබී තිබූ ප්‍රතිපල වාර්තාය.

සැප්තැම්බර් 9 වැනිදා ලබා තිබූ මනාප ප්‍රමාණයටත් වඩා අඩු මනාප ප්‍රමාණයක් සැප්තැම්බර් 11 වන විට නෙතූ ටෙලිනාට්‍ය සදහා ලැබී තිබිණ. මනාප එකින් එක වැඩි වෙනවා වෙනුවට මනාප එකින් එක අඩුවන්නට පටන් ගැනීම තුල සුමති ටෙලි සම්මාන සංවිධායක කමිටුව හත්පොලේ ගාගෙන ඇති බව සුපැහැදිලිය. ඔවුන්ගේ මේ සත්කාර්යට මහ ජනතාව දක්වන අදහස් Sumathi Awards නිල ෆේස්බුක් පිටුවට ගොස් දැක බලාගත හැකිය. මහජන අදහස් වලින් 99% ක්ම ඇත්තේ දෝශාරෝපණය කොට දැමු අදහස්ය. මනාප ගණන් කෙරෙන ක්‍රමවේදයක් ඇත්දැයි සිතෙනා තරමට පරස්පර විරෝදී එකිනෙකට සම්බන්දයක් නැති ප්‍රතිපල දිනෙන් දින නිකුත් වෙයි. දවසක් අන්තර්ජාලයේ ප්‍රතිිපල නිකුත් කර තවත් දවසක බැනුම් අසන්නට බයෙන්දෝ ඒවා පත්තර වල පලකරති. මනාප පටලවා දමා ඒවාට මිනිසුන් දොස් නගන විට සුළු වැරදීමක් යැයි කියමින් නැවත නිවැරදිද කරතිි.

කෙසේ වුවද කියන්නට ඇත්තේ මෙපමණකි. සුමති ටෙලි සම්මාන උළෙල මේ වනවිට දැඩි දෝශ දර්ශණයටත්, දැඩි අප්‍රසාදයටත් , දැඩි සැකයටත් ලක්වී හමාර බවය. සම්මාන උළෙලේ ජයග්‍රහණ කවුරුන් ගත්තද ඒවාට කිසිදු ගෞරවනීය භාවයක් නැත. ඒවා තනිකරම මහජනතාවගේ ඇනුම් බැනුම් වලින් ඉදුල් වූ ඒවාය.

එහෙත් සුමතිි සම්මාන උළෙල හෙල කලාකරුවන්ගේ ගෞරවණීය සහභාගීත්වයෙන් එළඹෙන 20 වනදා පැවැත්වෙනු ඇත. ජනප්‍රිය සම්මාන ගත් අය මේ කැතකුණු සඟවමින් කැමරා වෙත දත් නියවනු ඇත. පොරටෝක්ස් දෙනු ඇත. මනාප පොරයේදී එකිනෙකාට මඩ ගසාගත් අය අක්ක – නගෝ , අයියා – මලෝ වාගේ සහෝදර ස්නේහයෙන් ඔද වැඩී අඩන්නට කඳුලු සොයනු ඇත. රූපවාහිනී නාලිකා තමන්ගේ පම්පෝරිය ගසනු ඇත. තවත් අභිමානවත් සම්මාන උළෙලක් නිමාවට පත් වනු ඇත. පසුදා පුවත්පත් පිටු පිිරෙන්නේ ඒ මුහුණු වලිිනි.

කිසිදාක මෙවැනි අවංක අදහසකට ඒ පිටුවල වාටියකවත් ඉඩක් නොලැබෙනු ඇත. මම දනිමි. මේ වචන වල මේකප් නැත, අරුංගල් නැත, නියෝන් ලයිට් එලි නැන, පුහු ආටෝප නැත, බොරු කයිවාරු නැත. එහෙත් තිත්ත කරවිිලටත් වඩා තිත්ත කටුක කර්කෂ ඇත්ත මෙතැන ඇත.

මේ ජනප්‍රිය සම්මාන තෝරාගන්නා ක්‍රමයම වැරදිය. එය රයිගම් එකෙත් සුමතිි එකෙත් දෙකේම වැරදිය. එක දුරකතනයකින් ඕනෑම මනාප ප්‍රමාණයක් ලබා දිය හැකි වීම තුල ඇත්තේ , ජංගම දුරකතන සමාගම් සහ සංවිධායක කමිටුව එක්ව මුදලක් සොයා ගැනීමය. කූපන් තුල ඇත්තේ පුවත්පත් ටික විකුණා ගැනීමය. මෙතැන මෙන අටමගලයක් නැත. නිවැරදි තෝරාගැනීමක් නම් එක් අයෙකුට තිබිය යුතු වන්නේ එක් ඡන්දයකි.

මෙතරම් සැකයට තුඩුදී ඇති, මෙතරම් දෝශාරෝපණයට ලක් වී ඇති, මෙතරම් විපරීත ප්‍රතිපල ඇති, සිගිති සම්මාන උළෙලක ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස දෙවෙනි ඉනිම පත් වුනද එහිි පිටපත් රචකයා වන මට රෙද්දක් ඇඳන් ඊට සහභාගී විය නොහැකිය. ඒ නිසා මම එකහෙලාම සුමතිි සම්මාන උළෙලෙල මෙවර වර්ජනය කරමි. මට ඒ ගැන කිසිදු කණගාටුවක් නැත.

සම්මාන උළෙලට පෙර මේ ප්‍රකාශය කරන්නෙ සම්මාන උළෙලෙන් පසු මෙය කීවොත් අපිට නොදුන් නිසා බනිනවා යැයි කියන නිසාය. දෙවෙනි ඉනිමට සහ සිඳු ටෙලිනාට්‍යට ජනතාව සම්මාන දිය හැකි උපරිමයකින් දී හමාරය. දෙවෙනි ඉනිම දිනකට යු ටියුබ් හි පමණක් නරඹන සංඛ්‍යාෙවන් විස්සෙන් එකක්වත් නරඹන්නේ නැති ටෙලි නාට්‍යයක් අංක එකට පැමිණ තිිබේ. ජනවිඥානය හදුනන මෙලෝ සතෙක් මෙවැනි ගොං වැඩ කරන්නේ නැත. සම්මානයක් ගත්තා කියා මිනිස්සු ටෙලි නාට්‍ය බලන්නෙ නැත. මිනිස්සු හදුනන්නේ ටෙලිි නාට්‍යක් හරහා ගලන ජීවිතයය. මිනිස්සු ආදරය කරන්නේ දර්ශණ තුල ඇති හැගීමටය. සම්මාන යනු නිකම්ම නිකං තඹ පිත්තල ලෝහ කෑලිය. ඒවාට වටිනාකම් සහ ගෞරවයක් එන්නේ එය අපක්ෂපාතී සාධාරණ තරගයකින් ලබා ගත් එකක් නම් පමණි. කිසිදාක සැබෑ සම්මානයක උරුමය දරා නැති අයෙකුට නම් මෙය තුරුල්කරගත හැකිය. මෙවැනි සම්මාන වලින් කලාකරුවාටත් කලාවටත් වන සේවයක් නැත. එබැවින් එක දුරකතනයකින් මනාප කැමති ගණනක් පල කල හැකි අසාධාරණ සම්මාන උළෙලවල් වලට මම නැවත කිසිදාක සහභාගී නොවෙමි. අසාධාරණය දැන දැන අපිට අවාසියක් වේ යැයි බියෙන් නිහඩව දරා සිටිනවාට වඩා ඇත්ත ජනතාව හමුවේ තබා තවත් නිර්මාණයක් කිරීමට මම කැමැත්තෙමි. ස්තුතියි.

– සමන් එදිරිමුණි

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close