ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 155ක් ලබාගත් පුතාට පියාගෙන් සංවේදී සටහනක්

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 155ක් ලබාගත් පුතාට පියාගෙන් සංවේදී සටහනක්

ශිෂ්‍යත්ව කතන්දරයක්..... =================================================== මගේ පුත්, යසනාත් නිසයුරු පසන්දුල් බණ්ඩාර, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණ

එන ඡන්දෙන් සුපිරි ජයග‍්‍රාහකයා මහින්දයි.. දරුණුම පරාජිතයා මෛත්‍රීයි.. අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..
තිසුරි යුවනිකා, මහ දවල් දෙවරක් වලේ
ඉතාලි සුද්දා ලංකාව බලන්න ඇවිත් සංචාරක මග පෙන්වන්නකු හසුවු හැටි

ශිෂ්‍යත්ව කතන්දරයක්…..
===================================================
මගේ පුත්, යසනාත් නිසයුරු පසන්දුල් බණ්ඩාර, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 155ක් ලබා ඇති බව සතුටින් පවසමි.
එය කියූ සැනින්, මේ එකසිය අනූ ගණන් අසූ ගණන් ගත් දරුවන් සිය ගණනක් අතරේ ඕකත් මහා ලකුණක් දැයි කෙනෙකුට සිතුනොත් එය අරුමයක් නොවේ.

ඒ ලකුණු ගණන ඔහුට එළඹි බාධාවන් හා සමග ගණනය කළ විට ලකුණු 180කට වැඩි වටිණා බව මට කියන්නට පුළුවන. ඒ නිසා, පළමුව, ලකුණු 180කට වඩා වැඩියෙන් ගෙන සමත් වූවා සේ සතුටක් අපට ඔබ ගැන ඇත. මක් නිසාදයත්, ලද ලකුණු සහ ලබා ගත හැකිව තිබූ ලකුණු ගැන නිසි තක්සේරුවක විශේෂයෙන් මා සිටි බැවිනි.

එය කෙටි කතන්දරයකි.
වෛද්‍ය නිලධාරීන් වන අපගේ වාර්ෂික ස්ථාන මාරු සිදු විය යුත්තේ අදාල වසරේ ජනවාරියේදීය. එවිට ජනවාරියේම හෝ අවමයෙන් පෙබරවාරි මාර්තු අතරදීවත් නව සේවා ස්ථානයට වාර්තා කර පරිසරයට අනුවර්තනය වීමේ සාධාරණ කාලයක් හිමි වේ. එහෙත්, මෙවර එය ක්‍රියාත්මක වූයේ ජූනි මස 30 දිනට පසුවය. ( එය කළේ 2018 දී රාජ්‍ය නිලධාරී ස්ථාන මාරු අංශය යටතේ පළමු වසර සඳහා පාසැල් වලට දරුවන් ඇතුළත් කිරීමට ලැබෙන අවස්ථාව අපට අහිමි කිරීමේ ප්‍රයෝගයක් වශයෙන්ද යන සැකය මා තුළ තවම මැකී නැත.). කෙසේ වෙතත්, ඒ අනුව හැකි ඉක්මණින් සිටි සේවා ස්ථානයෙන් නිදහස් වී නව සේවා ස්ථානයට වාර්තා කළේ ජූලි 5 වන දිනය. බාල දියණිය පළමු වසරට ඇතුළත් කර ගැනීමේ අහම්බෙන් ලැබුණු අවස්ථාව සුරක්ෂිත කරගනු පිණිසය.

මේ නිසයුරු දරුවා අගෝස්තු 20 වෙනි දින පැවැති විභාගයට පෙර අවසානයට පාසැලකට ගියේ එකී ජූනි 30 වන දිනදීය. අනතුරුව විභාගය දක්වාම ඔහුට පාසැලක් නොතිබුණි. සෑම පාසැලකම ශිෂ්‍යත්වය ඉලක්ක කරගෙන පංති පැවැත්වෙද්දී ඔහුට නිවසට වී සිටින්නට සිදු විය.

සෑම දිනකම උදෑසන ඔහු මවගෙන් විමසනුයේ අම්මේ මාව ඉස්කෝලේ යවන්නේ නැතිද යනුවෙනි. ඔහු ඒ ගැන මගෙන් නොවිමසූයේ මන්දැයි මම නොදනිමි. සමහර විට ඒ පැණය අසා මාව අසරණ කිරීමට ඔහු නොසිතුවා විය හැකිය. කෙසේ වෙතත්, විභාගයට පෙර ඔහුට යාමට පාසැලක් සොයා දීමට මට නොහැකි විය. ඉස්සර ස්ථාන මාරු ලබා පැමිණි පසු සුුදුසු පාසැලක් දීම මේ අය අහිමි කොට ඇති බවද ලිවිය යුතුය. එබැවින් අවසාන මාසයකුත් දවස් 20ක් සඳහා ඔහුට මග පෙන්වීමට ගුරුවරයෙකු නොමැති විය. අලුත් ප්‍රදේශයකට පැමිණි බැවින් අතිරේක පංතියක්වත් නොමැති විය. (අනුරපුර සිටියදී වුව, අපි ඔහුව පංති යවා හෙම්බත් නොකළෙමු. යැවුවේ එකම පංතියකට පමණි.)

පාසැලක් නොමැති වීමේ මානසික අවුලක්ද ඔහුට වන්නට ඇතැයි සෑම දිනකම මවගෙන් කළ විමසීමෙන් පැහැදිලිය.
එමෙන්ම නව පරිසරයට හුරු වීමට අපට ඇති වූ අපහසුව ඔහුටද දැනෙන්නට ඇත. ඔහු සිටියේ ඇත්තටම මහා විභාගයක් නොවුණත්, ලෝකයා මහා විභිගයක් කළ මහා විභාගයක්ද අභිමුවය.

විභාගෙට පෙර අවසාන මාසයකුත් දවස් 20ක් යනු මෙවන් දරුවෙකුට මහත් වූ වටිණා කාලයකි. එහෙත් එකී මහඟු කාලය ඔහුට අහිමි විය.
අගෝස්තු 20 දා, කුරුණෑගලින් අනුරාධපුරට ගොස්, තමන් සිටි පාසැලේදී ආගන්තුකයෙක් ලෙස ඔහු විභාගය ලීවේය. එසේ ලියා ඉන් ලකුණු 155ක් ගත්තේය.

අර සියලු බාධක වලට ඔහුගෙන් උදුරා ගන්නට හැකි වූයේ ලකුණු 45/200 ක් පමණි. ඒත් ඔහු ඒ බාධක වලට ගොදුරු වන්නට නොදී ලකුණු 155/200 ක් බේරාගෙන තමන් සතු කරගෙන ඇත.

‘පුතේ, මට නම්, මේ විදිහට උඹ එකතු කරගත් ලකුණු 155 දැනෙන්නේ 180ට වඩා වැඩි වටිණාකමකිනි.
මම විභාගයට පෙර උඹට නොකී දෙයක් දැන් උඹට කියමි.

මමද ශිෂ්‍යත්වය සමත් නැත. මට සාමාර්ථය සඳහා ලකුණු එක හමාරක් මදි විය.
මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලද එතරම් හොඳ නැත. විශිෂ්ඨ සාමාර්ථ වරුසා මට වැස්සේ නැත. එහෙත් නරකමද නැත.
මහ මග ටයර් සෑයවල් මැවුණු පරිසරයක උසස් පෙළ කරද්දී මට සරසවි වරම් නොලැබුණේ වුව, මම අසමත් වුනේද නැත.
එහෙත්, මම තවමත් ප්‍රමාද වැඩි නැත යනුවෙන් සිතුණු මොහොතකදී වහා ක්‍රියාත්මක වී උසස් පෙළින් අවැසි ලකුණු ලබා වෙද විදුහලට ගියෙමි. වෙදැදුරෙකු ලෙසින් එළියට ආවෙමි.

පුතණුවනි,.
මට උඹ ගැන මෙසේ සිතේ.
උඹ යන්නේ කොයි පාරේ,
අප්පච්චී ගිය පාරේ…….. !‘

මේ අප්පච්චී,
යසනාත් ධම්මික බණ්ඩාර.

COMMENTS

WORDPRESS: 1
  • comment-avatar
    Enoka Kudavidanage 2 months

    With a father like you..your son can reach unimaginable heights..and with a son like him..you are blessed.

  • DISQUS: 0