රෝහණ විජේවීරගේ දුව ඊශාවරීට ඉන්න නිවසක් සාදා දීම මගේ එකම අරමුණ – චතුරිකා

රෝහණ විජේවීරගේ දුව ඊශාවරීට ඉන්න නිවසක් සාදා දීම මගේ එකම අරමුණ – චතුරිකා

ඇය චතුරිකා සිරිසේන නම් විය. මෛත්‍රීපාල සිරිසේන නම් වූ රජ රටින් බිහි වූ වත්මන් ජනාධිපතිවරයාගේ ආදරණීය දියණිය වූ චතුරිකා සිරිසේන ග්‍රන්ථයක් ලීවාය. අද බණ්

ලෝකයේ ලොකුම සල්ලිකාරයෝ පරිගණක ලොවේ වැඩකාරයෝ
ජාතියක් ජන්මයක් නැති දේශපාලනඥයන් මට ගෝත්‍රිකයෙක් කියා අවමන් කරනවා
“අපිට කෙරෙන්නේ නැත්තම් අපිට වෙනත් රටක් දෙන්න,” දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගතයි” – චන්ද්‍රිකා

ඇය චතුරිකා සිරිසේන නම් විය. මෛත්‍රීපාල සිරිසේන නම් වූ රජ රටින් බිහි වූ වත්මන් ජනාධිපතිවරයාගේ ආදරණීය දියණිය වූ චතුරිකා සිරිසේන ග්‍රන්ථයක් ලීවාය. අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එම කෘතිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වෙයි. එම කෘතිය ජනාධිපති තාත්තා නම් විය. එහි ඇති අතීත වර්තමාන සිදුවීම් මෙන්ම එම කෘතිය ලිවීමට හේතු වූ කරුණු ද චතුරිකා සිරිසේන නම් වූ ජනාධිපති දියණියගේ අනෙකුත් සුන්දර මතකයන් ද අවදි කරමින් සිදු කළ සාකච්ඡාවකි.

ඇයි ඇත්තටම තාත්තා ගැන මේ වගේ ‍පොතක් ලියන්න හිතුවේ?
මම මුල්ම කා‍ලේ මේක ‍පොතක් වශයෙන් ලියන්න හිතුවේ නෑ. මේ කරුණු සියල්ල එකතු කරලා ඒ දේවල් ආරක්ෂා කරලා තියන්නයි මට වුවමනා වුණේ. ඒ නිසාම මම ඒ කා‍ලේ ඉඳලම තාත්තගේ තොරතුරු තියෙන පත්තර පවා සියල්ලම එකතු කළා.

ඉතින් ඒ තොරතුරු ඇතුළත් කරලා ‍පොතක් ලියන්න ඕනෑ කියලා මුලින්ම හිතුනේ කවදද?
තාත්තා සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට හාවඩ් විශ්වවිද්‍යාලයේ සම්මානය අරගෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉඳලා ගෙදර ආවම මම හිතුවා මේ කරුණු ඇතුළත් කරලා මේ ‍පොත ලියන්න ඕනෑ කියලා. එදාම තමයි මගේ ආච්චි අම්මා අපිව දාලා මෙලොවින් ගියේ. එදා මට හිතුණා මේ හැමදේම මැකිලා යන දවසක් එනවා. ඉතින් මම මේ දේවල් ලියලා තියන්න ඕනෑ කියලා. ඉතින් ඒ නිසා තමයි මම ‍පොතක් විදිහට ඒ දේවල් ලියන්න හිතුවේ. තාත්තගේ ඒ සුන්දර මතකයන් අපේ දරුවන්ට මේ රටේ දරුවන්ට දැක ගන්න අවශ්‍යයි කියලා හිතපු නිසා තමයි මම මේක ‍පොතක් ලෙස නිර්මාණය කරන්න තීරණය කළේ. ඉතින් මම ඒ කා‍ලේ ඉඳලම හැම මතකයක්ම එකතු කරගෙන රැස් කරගෙන ඉන්න කාලෙදී තමයි තාත්තා ‍පොදු අපේක්ෂකයා විදිහට එළියට ආවේ. ඊට පස්සේ මැතිවරණයට තරග කරලා මේ රටේ පළමු පුරවැසියා බවට පත්වෙලා දින සියයක් තුළ ලබපු අත්දැකීම් එක්ක අපි වෙනම මාවතකට යොමු වුණා.

විවිධ ඇමැති ධුර දරමින් එද්දී තාත්තා කවදා හරි මේ රටේ ජනාධිපති වෙයි කියලා හිතුවද?
අනේ නෑ. අපි හීනෙන්වත් හිතුවේ නෑ තාත්තා ජනාධිපති වෙයි කියලා බලාගෙන ආපු අය නෙවේ අපි. තාත්තා ඇමැති වුණත් ඉතා චාම් පරිසරයක හැදුණු අපිට ඒ සියලු තොරතුරු ඇතුළත් කරලා මේ කෘතිය ලිවිය යුතුමයි කියලා මම හිතුවා.

පොත ලියන්න ආරම්භ කළේ කවද්ද?
2015 මැයි මාසේ 15 වැනිදා තමයි මම මේ ‍පොත ලියන්න ආරම්භ කළේ. හරියටම ඒක ලියලා අවසන් කරන්න මට අවුරුදු දෙකහමාරක් ගත වුණා. එතැනදී මම නිකම්ම නිකං දේශපාලන කෘතියක් ලිව්වොත් ඒක කියවන්නේ ඉතාම අතළොස්සක් කියලා මට හිතුණා. නමුත් පාඨකයාට කියවන්න ආස හිතෙන විදිහට මේ ‍පොත මම රචනා කළේ නැත්නම් ඒක කියවන්නේ නෑ. අපි වුණත් කියවන්න ගන්න ‍පොත රසවත් නැත්නම් මුල බලලා නතර කරනවානේ. නමුත් ඒ ‍පොත රසවත් නම් අපි එක හුස්මට ඒක කියවනවා. අන්න ඒ නිසා මට වුවමනා වුණා මේ ‍පොතත් රසවත් කරුණු ඇතුළත් කෘතියක් විදිහට රචනා කරන්න. පුංචි කා‍ලේ ඉඳලම මට ඇස් දෙක පියා ගත්තම හැම සිදුවීමක්ම වගේම තාත්තා කියපු වචන ආදී සියල්ලම මට මතක් වෙනවා. දරු සෙනෙහස උතුරා ගලා යන ආදරණීය තාත්තා කෙනෙක් තමයි අද මේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ කියලා මට තාත්තා දකින හැම වෙලාවකදීම හිතට එනවා.
ඒ වගේම තමයි ‍පොදු අපේක්ෂකයා වෙලා එළියට බැහැලා පැය කීපයක් යද්දී අපිත් එක්ක ඇසුරු කරපු තාත්තා දරුවෝ මෙන් සලකපු උගන්වපු, තැනකට ඔසවා තබපු අය අපිව දාලා යන්න ගියා. හැබැයි අපි නොදන්න ඒත් තාත්තාට ආදරේ කරපු හුඟක් පිරිසක් අපිව වටකරගෙන හැම අතින්ම උදව් කළා. මේ හැම දෙයක් එක්කම ජීවිතේ කවදාවත් ඒ දේවල් අපට අමතක වෙන්නේ නැහැ. ඒ දේවල් තුළ පුදුමාකාර අත්දැකීම් අපි ලැබුවා. ඉතින් ඒ සියල්ල එක්කම තමයි මා අතින් මේ කෘතිය නිර්මාණය වෙන්නේ. අනෙක් අතට මම ගැහැනියක් විදිහට මම අද සමාජයේ ජීවත් වෙද්දී මවක් ලෙස සමාජයේ ඉද්දී විවිධ දේවල්වලට මම සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හැමදේම ඇතුළත් කරලා දේශපාලන කෘතියකට එහා ගිය බොහෝ දේවල් ඇතුළත් කෘතියක් නිර්මාණය කිරිමේ නොතිත් ආශාව තමයි මට ඇති වුණේ. අනෙක් අතට අද තරුණ පරපුරට හොඳ පණිවුඩයක් ලබා දෙන ලෙස මෙය නිර්මාණය කරන්නත් මට වුවමනා වුණා.

තාත්තා ජනාධිපති නොවුණා නම් මේ ‍පොත ලියවෙන්නේ නැද්ද?
මෙහෙමයි. මම අර මුලින් කීවේ. මම මුල ඉඳලා මේ දේවල් කියන්නේ තාත්තා සම්බන්ධයෙන් ඇති හැම සුන්දර මතකයක්ම මම එකතු කළා. තාත්තා ඇමැතිකම් දැරුවත් ගොවි තාත්තා වුණත් එයා තමයි මගේ ජීවිතයේ වටිනාම සුවිශේෂීම චරිතය. එයා මට දේශපාලනඥයෙක් නොවේ. මගේ තාත්තා මට ආචාර්යවරයෙක්. ඒ නිසා මම කියන්නේ මගේ තාත්තාට මොන ඔටුණු නොලැබුණත් එයා ගොවි තාත්තා කෙනෙක් වුණත් මා අතින් මේ වගේ ‍පොතක් ලියවේවි ‘ජනාධිපති තාත්තා’ කියන ඒ ‍පොතේ නම පමණක් වෙනස් වේවි. මේ ‍පොතේ පරිච්ජේදවල තියෙනවා මන්ත්‍රී තාත්තා, ඇමැති තාත්තා වගේ විවිධ චරිත, මගේ තාත්තා නිරූපණය කරනවා.

මේ කෘතිය ලියන්න කව්ද ඔබට උදව් කළේ?
බොහෝ දෙනාගේ උදව් ලැබුණා. පර්යේෂණාත්මක දේවල් සිදු කළා. මම කණ්ඩායමක් යොදා ගෙනත් තාත්තාගේ ජීවන තොරතුරු සොයා ගත්තා. මේ කෘතිය තුළ තාත්තාගේ ළමා කාලය, ගැටවර කාලය, තරුණ කාලය ඒ සියලු දේවල් ඇතුළත්. මම කෘතිය ආරම්භ කරන්නේ සියනෑ කෝරලෙන්, රජරට පුරවරයට කියලා. තාත්තා ඉපදුනේ ගම්පහ සියනෑ කෝර‍ලේ. තාත්තාගේ තාත්තාල ගම්පහ. ඉතින් අපේ සීයට ආරච්චිකම හම්බවෙලා තමයි ‍පොළොන්නරුවට ඇවිත් තියෙන්නේ. මගේ ආච්චි ගුරුවරියක්. මගේ තාත්තා තමයි වැඩිමහල් දරුවා. තාත්තාවත් අරගෙන ආච්චියි, සීයයි. රජරටට ඇවිත් එතැනින් තමයි ජීවිතේ පටන් ගත්තේ. ඊට පස්සේ තාත්තගේ ළමා කාලය, තරුණ අවධියේ සිදුවීම් 71 කැරැල්‍ලේ අත්අඩංගුවට අරගෙන නිරපරාදේ සිරබත් කනවා වසර දෙකක්ම. මාංචු පිටින්ම එයා උසස් පෙළ විභාගය ලියපු ආකාරය, මේ බොහෝ දේවල් සිදු වෙලත් මානසිකව වැටුණේ නැති තාත්තා නැගී සිටින අයුරු, ඊට පසුව එයා ග්‍රාම නිලධාරියකු වීම, පූර්ණ කාලීන දේශපාලනයට එක්වීම ආදී ඒ සියලු දේවල් ගැන තොරතුරු ටිකෙන් ටික මම එකතු කර ගත්තා. තාත්තාගේ මිතුරන්, ගම්වල සිටි අය ඇතුළු සියලු දෙනාගෙන්ම මම තොරතුරු ගත්තා.

ජනාධිපතිවරයා කැමැති වුණාද ඔබ මේ වගේ කෘතියක් නිර්මාණය කරනවා කීවාම?
මම මුලින්ම මේ ගැන තාත්තට කීවේ නෑ. මුලින්ම තාත්තට නොකියා තමයි එයා ගැන විස්තර එකතු කළේ. මට ඕනෑ වුණේ මේ ‍පොත ඉවර කරලා තාත්තට කියන්න. මොකද මම රාජකාරි මට්ටමින් වැඩ කළාට මගේ අතින් තාත්තා ගැන මේ වගේ කෘතියක් ලියැවෙයි කියලා තාත්තා හිතන්න නැතුව ඇති. එක දවසක් මම මාලිගාවේ ඉද්දී තාත්තා කෝල් කරලා ඇහුවා චතු මේ ළමයි වගයක් මගේ විස්තර හොයනවානේ. කව්ද දන්නේ නෑ, ඒක කරන්නේ කියලා. ඉතින් මම කීවා තාත්තේ මම තමයි හොයන්නේ මොකද මට ඒවා එකතු කරලා තියන්න ඕනෑ කියලා. එයා දන්නවා මම තොරතුරු එකතු කරනවා කියලා. හැබැයි අම්මා දන්නවා, මම පත්තර කෑල්‍ලේ ඉඳලා තාත්තා ගැන තිබුණු තොරතුරු එකතු කළා කියලා. මම අම්මව දවල්ට අල්ලගෙන විවේකය තියෙද්දී හැමදේම අහනවා. මොකටද කියලා අහපුවාම මම අම්මට කීවා ලියන්න කියලා. ඉතින් අම්මා ඊට පස්සේ තාත්තගේ දේවල් මට කිව්වා. අන්තිමට ‍පොත ලියලා ඉවරවෙලා තමයි මම තාත්තට කීවේ.

එතුමා මොකද කීවේ?
ඒ ඇස්වල මම දැක්කා ලොකු සතුටක්. පිය සෙනෙහස තුළ හැදුණු දියණියකගේ නිර්මාණයක් අතට ගන්න තාත්තා කෙනෙකුගේ හිතට එන ආදරණීය සිතිවිලි මම මගේ තාත්තාගේ ඇස්වලින් දැක්කා. මම කිව්වා තාත්තේ මේක බලලා හරිද කියන්න කියලා. මොකද චන්ද්‍රිකා මැතිනිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා ආදී සියලු දෙනා එක්ක ලබපු අත්දැකීම් මා ලියපු දේවල් ඇත්තටම හරියටම දන්නේ තාත්තා. ඒක බලලා තාත්තා මට මොකුත් කීවේ නෑ. ආ… හොඳයි ලියලා තියෙනවා කීවා. ඒ තාත්තාගේ හැටි. ඒත් අම්මට කියලා තිබුණ චතුට කොහොමද මේ දේවල් මතක කියලා.

ජනපති ඔබේ තාත්තා බව ඇත්ත. ඒත් ඔහු මේ රටේ ජනාධිපති. රටේ ජනාධිපති ගැන ලියද්දී ප්‍රවේශම් විය යුතුයි?
ඔව්. මම හැම දේම ඉතා පරිස්සමින් ලිව්වේ. අනික මම වුණත් ඉතාම සරල ස්වාධීන ගැහැනියක්. ඉතින් මගේ තාත්තා ජනාධිපති වුණාට ඒ මගේ තාත්තා. මට ස්වාධීන බව තියෙනවා. මම ඉතා නිවැරදි සත්‍යය දේම තමයි ලිව්වේ. මගේ තාත්තා මට ඒ නිදහස දීලා තියෙනවා. තාත්තා අදට වුණත් කියන්නේ වැරද්දක් කළොත් හතර මායිමටවත් එන්න එපා කියලා. ඉතින් ඒ වගේම අපි ඒ දේවල් පිළිපදිනවා. අද වුණත් තාත්තා අපිට ආරාධනා කළොත් විතරයි මම ජනාධිපති කාර්යාලයට වුණත් යන්නේ. උත්සවයකට වුණත් අපට එන්න කියලා තාත්තා කිව්වොත් තමයි අපි යන්නේ.

අම්මාත්, ආදරණීය මවක්. ඇය ගැන ‍පොතක් ලියැවෙන්නේ නැද්ද?
මේ ‍පොත ‘ජනාධිපති තාත්තා’ තමයි. ඒත් මේ ‍පොතේ හුඟක් පිටු අතරේ තියන්නේ මගේ අම්මගේ සරල බව අපිට තිබුණු ආදරණීය බව තාත්තට තිබුණ මහමෙරක් තරම් වූ ආදරය, අම්මා තුළ සදා තියෙන සුන්දර අව්‍යාජ සිනහව සහ ආදරණීය සුන්දර බිරිඳක් ලෙස මවක් ලෙස දෙන ආදරය මේ පිටු අතරේ තියෙනවා කියලයි මම හිතන්නේ. අදටත් මගේ අම්මා තමයි තාත්තා ඇඳලා එළියට බහින්න හදද්දී සෙරෙප්පු දෙක පිහදාලා කකුල් දෙක ළඟින් තියන්නේ. අම්මා තමයි ගෙදර උයන්නේ. තාත්තාගේ කෑම එක බඳින්නේ අම්මා. ඒ බත් එක තමයි තාත්තා අදටත් කන්නේ. ඒ සරල සාමාන්‍ය ආදරණීය මව ගැන මේ ‍පොතේ හුඟක් පිටුවල තියෙනවා. තාත්තා ගන්න හැම තීන්දුවක් එක්කම අම්මා හිටියා. එයා තුළ අඬවැඩියාව තිබුණේ නෑ. එයා හිටියේම තාත්තාගේ පැත්තේ. ඉතින් අපිත් අම්මාගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා.

මේ කෘතියේ පිදුම දාලා තියෙන්නේ නායකයන්ගේ දියණිවරුන්ට. ඇයි ඒ?
මට හිතෙන්නේ ඒ දියණිවරු අනේකවිධ දුක්ඛදෝමනස්සයන් විඳගෙන ඉන්නේ. චන්ද්‍රිකා මැතිනිය දියණියක්. ඇය අප්‍රමාණ දුක් වින්දා. ඒ වගේම අනෙක් දියණිවරුත් ඒ හා සමානව දුක් විඳිනවා. ඒ වගේම මම මේ පිදුමේ රෝහණ විජේවීරගේ දුව ඊශාවරිත් සිහිපත් කරනවා. මේ හැම කෙනාටම කියන්න දේවල් තියෙනවා. මම මේ ‍පොත හරහා එයාලට සිහිපත් කරනවා. ඒ නිසයි මම මේ ‍පොතේ පිදුම මේ රටේ නායකයන්ගේ දියණිවරුන්ට දැම්මේ.

ඔබ රෝහණ විජේවීරගේ දියණිය ඊශාවරී මතක් කළා. බොහෝ අයට අද ඇයව අමතක වෙලා තියෙන්නේ?
ඇය දියණියක්. ඇය මහා දුකක් විඳින දියණියක්. අද ඇයට ඉන්න නිවසක්වත් නෑ. මගේ එකම අරමුණ ඇයට ඉන්න නිවසක් සාදා දීම. මම ඒක ඉදිරියේ දී කරනවා. එයාගේ නංගිලා දෙන්නම අද ඉන්නේ මානසික රෝහ‍ලේ. අපි හැමෝම මිනිස්සු. අපේ හෙට දවස කොතනින් කොහොම කෙළවර වෙයිද දන්නේ නෑ. ඉතින් දුක් විඳින ඊශාවරී වගේ හැම දියණියක් ගැනම මගේ හිතේ ලොකු බැඳීමක් තියෙනවා. අද මගේ “ජනාධිපති තාත්තා” එළිදක්වනවා. බොහෝ දියණිවරු ඒ අවස්ථාවට පැමිණෙනවා.

ඔබ මේ ලියපු ‍පොත ඇතුළේ මේ රටේ ජනතාව දැකපු මෛත්‍රීපාල සිරිසේන නම් වූ චරිතය ඉන්නවා කියලා ඔබ සිතනවාද?
ඔව්. ඔවුන් දුටු චරිතයත් දකීවි. ඒ වගේම නොදැක්ක චරිතයකුත් මේ ‍පොත තුළින් දකීවි. ජු තීන්දු තීරණ ගන්න, නිහඬ, නිර්භය පුද්ගලයකු මේ ‍පොත හරහා මේ රටේ ජනතාව දකීවි. ඒ වගේම තමන්ට ලැබුණු අගමැති ධුරය වෙන කෙනකුට පරිත්‍යාග කරපු ජනපති බලතල තමා විසින්ම අඩුකර ගත්තු පරිත්‍යාගශීලී පුද්ගලයකු ජනතාව මේ ‍පොත තුළින් දකීවි. ඒ වගේම උත්තම පියකු ගැන ඔහුගේ දියණියක් දුටු අයුරු මේ රටේ ජනතාවට කියවන්න තමයි මම මේ කෘතිය ලියලා තියෙන්නේ.

මේ ‍පොත ඔබේ දේශපාලන ගමන් මගේ පෙර නිමිත්තක්ද?
මම ඉපදුනේම දේශපාලනය කරන තාත්තා කෙනකුට දාව. ඇරිස්ටෝටල් කියලා තියෙනවා සියලු දෙනාම දේශපාලන සත්ත්වයෝ කියලා. පක්ෂ දේශපාලන, පාට දේශපාලනයෙන් එහාට ගිය දේශපාලනයක් අදත් මට තියෙනවා. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අදත් මම ස්වේච්ඡා සේවයන් කරනවා. මට හැකි පමණ ඉදිරියටත් මම එය කරනවා, ජනතාව වෙනුවෙන්.

තාත්තා ‍පොදු අපේක්ෂකයා වෙද්දී බය වුණේ නැද්ද?
නෑ… ඇත්තටම අදටත් මට ප්‍රශ්නයක් ඇයි එදා මට බියක් ඇතිවුණේ නැත්තේ කියලා. ඒකට හේතුව වෙන්න ඇත්තේ මගේ අම්මා. ඇය නොබියව අපිටත් ඒ ශක්තිය ලබා දුන්නා. අම්මා කිව්වේ තාත්තා නිතරම ගන්නේ හරි තීරණ, ඒ නිසා අපි තාත්තා එක්ක ඉමු කියලා. ඉතින් අපි ඒ තීරණේ නොබියව හිටියා.

ජනපති නොවුණා නම් හැමදේම අහිමි වෙනවා?
අපිට නැතිවෙන්න තරම් දෙයක් තිබුණේ නෑ. අපි සාමාන්‍ය මිනිස්සු. අපි එකතු කරගෙන තිබුණේ අපේ දේවල්, ආරක්ෂාවට හිටපු අය විතරයි අපිට අහිමි වුණේ. ඉතින් බොහෝ අය අපට ඒ ආරක්ෂාව දුන්නා. අපිට කිසිම දෙයක් නැති වෙයි කියලා බය හිතුණේ නෑ. නමුත් අපි හිතුවා තාත්තාගේ අත් දෙකම හයියෙන් අල්ලගන්න ඕනෑ. ඒක ආරක්ෂිතයි කියලා මට හිතුණා.

ජනාධිපති තාත්තා ගැන ඔබට ඇති සුන්දරම මතකය මොකක්ද?
මගේ තාත්තාට අපි චූටි කා‍ලේ බයික් එකක් තිබුණා. අම්මත් එක්ක අපි හතර දෙනාවම ඒකේ දාගෙන තාත්තා ඇළවල්වලට, වැව්වලට ගිය සුන්දර මතකයක් මට තියෙනවා. අපේ කොණ්ඩේ කපන්නේ ඒ බයික් ඒකේ තියාගෙන ගිහින්. මන්ත්‍රීවෙලා ජනාධිපති වෙනතුරුත් තාත්තා ගෙදර එද්දී අදටත් අපිට කන්න මොනවා හරි ගේනවා. ඒක පුරුද්දක් වෙලා තිබුණා. අපි හවසට තේ බොන්න තාත්තා මොනවා හරි ගේනකම් ඉන්නවා. ඒවා හරිම සුන්දර මතක. තාත්තා එක්ක විඳපු ඒ සුන්දර මතකය මට කවදාවත් අමතක නෑ, මට මගේ පළමු දරුවා ලැබුණේ 2010 මහ මැතිවරණය ආසන්නයේම. මං ඉපදුන ‍පොළොන්නරුව රෝහ‍ලේමයි. මට දුව ලැබෙන වේලාවෙත් ඇහුනේ මෛත්‍රීපාල සිරිසේන දිනවමු අංක හතරට ජය වේවා කියලා රූපවාහිනියේ ගිය දැන්වීම. මට දරුවා ලැබිලා තාත්තා ඇවිත් මාව බලලා ගිහින් තමයි තාත්තා කාලා තිබුණේ. එතකන් එයා කාලා තිබුණේ නෑ. ඒක දරුවකුට හරිම වටිනවා. මට ඒ වගේ ආදරණීය තාත්තා කෙනෙක් ලැබිලා තියෙනවා. ඒ ආදරණීය තාත්තා මේ රටේ හැම දරුවකුටම ආදරණීය තාත්තා කෙනෙක් බව අද මම දන්නවා.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close