මොන උපාධිය තිබුණත් වැඩක් නැහැ ප්‍රැක්ට්‍රිකල් නොවී

මොන උපාධිය තිබුණත් වැඩක් නැහැ ප්‍රැක්ට්‍රිකල් නොවී

ඩර්ඩන්ස් සභාපතිවරයා ඇතුළේ අපි නොදන්න කවුද ඉන්නේ... බොහොම සරල මනුෂ්‍යයෙක්. ප්‍රශ්න දිහා බැරෑරුම්ව බලලා සරලව විසඳුම් දෙන, සංගීතය රස විඳින සරල ආහාරයෙන්

සිංගර් ශ්‍රී ලංකා සමාගම බිලියන 12.5කට මිලදී ගන්න ධම්මික පෙරේරා සූදානම්
බැදුම්කරේ ඇත්ත පාඩුව අන්තිම සතේට මෙන්න..
දෙවැනි ඉනිමේ දෙව්මිගේ මව අංජලී සියල්ල අතහැර සසුන්ගත වෙලාද?

ඩර්ඩන්ස් සභාපතිවරයා ඇතුළේ අපි නොදන්න කවුද ඉන්නේ…
බොහොම සරල මනුෂ්‍යයෙක්. ප්‍රශ්න දිහා බැරෑරුම්ව බලලා සරලව විසඳුම් දෙන, සංගීතය රස විඳින සරල ආහාරයෙන් සතුටු වන, සැහැල්ලු ඇඳුමින් පැලඳුමින් ජීවත් වෙන්න කැමැති කෙනෙක්. ඒ වගේ ම මරණය පිළිබඳ හිතන කෙනෙක්. ගොඩක් වැඩකරපු සහ තව හුඟක් වැඩකරන්න පුළුවන් කෙනෙක්.

තුඩාවේ බ්‍රදර්ස්, ඔබේ පවුලේ උරුමය…
1942 ලෝරන්ස් තුඩාවේ, මගේ තාත්තා සහ ඩයිනෝසියස් තුඩාවේ, මගේ බාප්පා, තවත් තුන් දෙනෙක් එක්ක ආරම්භ කළ ලංකාවේ පැරැණි ම ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම තමයි, තුඩාවේ බ්‍රදර්ස්. අදටත් අපේ ප්‍රධාන ව්‍යාපාරය තමයි ඉදිකිරීම්. තාත්තා හුඟක් වැඩ කළේ බ්‍රිටිෂ් මිනිස්සු එක්ක. තාත්තා කන්ස්ට්‍රක්ෂන් කරද්දි, පුංචි ළමයෙක් හැටියට මං ආසා කළේ ලස්සන ගෙවල් අඳින්න. අද වුණත් අපේ හැම ඉදිකිරීමකටම මගේ අදහස් ලැබෙනවා. වෙලාවකට හිතෙනවා, අපරාදේ මං ආකිටෙක්ට් කෙනෙක් නොවුණේ කියලා.

ඒ වුණාට ඔබත් ‘තුඩාවේ බ්‍රදර්ස්’ සාමාජිකයෙක්…
ඔව්. ඒ අපේ පවුලෙ බිස්නස් එක. මං ඒකෙ සීනියර් ඩිරෙක්ටර් කෙනෙක්. මගේ ලොකු අයියා රොහාන් තුඩාවේ තමයි සභාපති. ඒ වගේ ම එයා වරලත් ඉංජිනේරුවෙක්. ඊළඟ කෙනා අක්කා. එයා බිස්නස්වල නැහැ. ඊට පස්සෙ වසන්ත තුඩාවේ, මගේ අයියා. එයත් ඉංජිනේරු ක්ෂේත්‍රයේ. ඊළඟට මම. මට පස්සෙ සතිෂ් මල්ලි. ඊළඟට උපුල් සහ අමල් නිවුන් මල්ලිලා. අපි හැමෝම පවුලේ බිස්නස් එකේ ඉන්න බව ඇත්ත. ඒ වුණාට ඩර්ඩන්ස් තමයි, මගේ හිත නැවතුණු තැන. මගේ පූර්ණ අවධානය. මගේ පැෂන් එක.

ඇයි, රෝහලක් වෙනුවෙන් ඔබට මේ තරම් පැෂන් එකක්…
මට ඕනෙ වුණේ පුංචි දරුවගේ පටන් වැඩිහිටියාගේ දක්වා ජීවිත සෑම අංශයකින් ම සුරකින කිසිදු අඩුවක් නැති තැනක් බවට මේ රෝහල පත් කරන්න. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව, ඩර්ඩන්ස් ‘6 th lane – wing’ ‍අලුත් රෝහල හැදුවෙත් ඒ වෙනුවෙන්මයි. අතිනවීන ‘හාට් කමාන්ඩ් සෙන්ටර් එක, රේඩියෝලොජි අංශය, කාඩියැක් තියටර් එක… ඇතුළු වැඩි දියුණු කළ අංශ ගණනාවක් මෙහි තිබෙනවා. වටිනාම දේ මේක තිබෙන්නේ තවත් තැනෙක නෙවෙයි. ඔබට පුරුදු ඩර්ඩන්ස් රෝහලට යාබදවමයි. මෙතැනට ආවොත් ඔබට තේරෙයි, විශිෂ්ට රෝහල් සේවාවන් හදන්න මට තිබෙන්නෙ කොහොම උණක් ද කියන එක.

ඩර්ඩන්ස්, මොන තරම් ඉතිහාසයක් තිබෙන තැනක් ද …..
මේ බිමේ ඉස්සරම තිබුණෙ පරණ ලොකු ගෙයක්. ඒ ගෙදර නම තමයි ‘ඩර්ඩන්ස්’. දෙවැනි ලෝක යුද්දෙ පටන් ගන්නකොට මෙතැන රෝහලක් ඉදිවෙලා. ඒ රෝහල තමයි යුද්දෙ ඉවර වෙනකල් ප්‍රධාන ‘බ්‍රිටිෂ් මිලිටර් හොස්පිට්ල්’ එක වුණේ. 1945 න් පස්සෙ රෝහලේ අයිතිය තිබුණෙ පුද්ගලික වෛද්‍ය නිලධාරින් පස් හය දෙනකුට. ඔවුන් ‘සිලෝන් හොස්පිට්ල් ලිමිටඩ්’ නමින් කොම්පැනියක් ඇති කළා. මීට අවුරුදු 15 කට කලින් මම ලැයිස්තුගත සමාගමක් බවට පත් කළ ඒ කොම්පැනිය ම තමයි, අදත් Ceylon Hospitals PLC ලෙස පවතින්නේ. නමුත් ජනතාව අතරට ගියේ, කොම්පැනියේ නමට වඩා රෝහලේ නම.

එතකොට අජිත් තුඩාවේ කොහොමද ඩර්ඩන්ස් සභාපති වුණේ…
1963 දි මගේ තාත්තත් ඩර්ඩන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වුණා. මං අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ තාත්තා නැතිවෙන්න අවුරුදු දෙකහමාරකට විතර කලින්. ඒ, විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් විදියට. 94 දි තමයි මං ක්‍රියාකාරි ලෙස දායක වුණේ. 1982 – 89 වෙනකල් ඩර්ඩන්ස් සභාපති මගේ තාත්තා. වෛද්‍යවරයෙක් නොවූ පළමු සභාපතිවරයත් ඔහුමයි. තාත්තගෙ ඇවෑමෙන්, මට අවුරුදු තිස් ගණන්වලදි සභාපතිධුරය ලැබුණා.

මොකක්ද මේ ආයතනයට ඔබ කළ ලොකු ම වෙනස…
ඩර්ඩන්ස් ක්‍රියාකාරිත්වය එතෙක් ගලා ගියේ බොහොම සාම්ප්‍රදායික රටාවකට. මං, නවීන උපායමාර්ගික සැලසුම්, ව්‍යුහගත සැලසුම් සහ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළා. කළමනාකාරිත්වයට අලුත් චින්තනයක්, දර්ශනයක් එක් කළා. වෘත්තීයභාවයට සහ විනයට මූලිකත්වය දුන්නා. සේවක ආකල්ප සහ දැනුම වර්ධනය කරන අඛණ්ඩ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එකම දේ, අදහස් මගේ වුණාට, මේ සියල්ල කළේ මං තනියම නෙවෙයි වීම. සාමුහිකත්වයේ දැක්මකින්.

ඔබේ දරුවොත් අද මේ සමාගමේ අධ්‍යක්ෂවරුද…
නැහැ. මගේ තාත්තා නම් අපි සේරමලාව අවුරුදු විසි ගණන් වෙනකොට ම ඩිරෙක්ටර්ස්ලා කළා. ඒක ගැන මං අද හිතන්නෙ වෙනස් විදියට. ඒ නිසා ම මං මගේ පුතාලට ඒ උසස් ම තැන දුන්නෙ නැහැ. ඒ දෙන්න ම හොඳින් උසස් අධ්‍යාපනය ලැබුවට පස්සෙ, මං බඳවා ගත්තෙ කළමනාකරණ විධායකයන් හැටියට. අද ඒ දෙන්න ම සීනියර් මැනේජර්ස්ලා. මිනිස්සු එක්ක ගැවසිලා අත්දැකීම් ලබලා, වෘත්තීය අත්දැකීම් සහ ප්‍රශ්න ගැටලු අත් විඳලා, නිසි දවස් ආවම ස්වාධීන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට මුහුණ දීලා තමයි ඒ දෙන්න ම දවසක ඩිරෙක්ටර්ස්ලා වෙන්නේ.

තීන්දු තීරණ ගනිද්දි ඔබ හිතන විදිය කුමක් ද…
මගේ ඍජු සම්බන්ධය තිබෙන්නෙ ඉහළ කළමනාකාරිත්වය එක්ක. විශේෂයෙන් ‘ඇනුවල් බිස්නස් ප්ලෑන්’ එක හදද්දි අපි කණ්ඩායම ම කාර්යාලයෙන් පිට ටිකක් ඈත නිස්කලංක පරිසරයකට යනවා. රිලැක්ස් වෙනවා. අලුත් අදහස් යෝජනා ගැන හිතනවා. කතා කරනවා. ලියනවා. සභාපති මම කියලා තනි තීරණ ගන්නෑ. අනෙක් අයගෙ අදහස් මට වැදගත්. ඒ හමුවීමෙන් පස්සෙ අපි යළි කාර්යාලයට එන්නෙ හුඟක් අලුත් අදහස් එක්ක. ඩර්ඩන්ස් පවුලට මේ දේ ඉතා ම වැදගත්.

ඩර්ඩන්ස් කොහොමද පවුලක් වෙන්නෙ…
ඒක අපේ ආයතනික සංස්කෘතිය. ආයතනය සේවකයන්ට සලකනවා නම් පෙරළා ඔවුන්ගෙ උපරිමයත් ආයතනයට ලැබිය යුතුයි. කොයි තරම් හොඳ ආකල්ප හැදුවත් ආයතනයට, සේවයට ලැදි නැති අය ඉන්නවා. අවංක නැති අය ඉන්නවා. සමහරු එන්නෙ පඩිය බලාගෙන විතරයි. නමුත් හැම වෙලාවෙ ම අපි සේවකයන්ට මතක් කරන්නේ, ‘ඔබත් ඩර්ඩන්ස් පවුලේ සාමාජිකයෙක්’ කියන එකයි.

දැක්මක් ඇති නායකයා, කුණාටු පිරි සාගරයක නිරුපද්‍රිතව නැවක් ගෙන යන කපිතාන් කෙනෙක් වගේ. ඔබට එහෙම දැනිලා නැද්ද…
ඇයි නැත්තේ. බොහෝ පෞද්ගලික ආයතනවලට රාජ්‍ය අනුග්‍රහය මොන යම් ආකාරයකින් හරි ලැබෙනවා. නමුත් ඩර්ඩන්ස් කියන්නෙ, තනිකර ම අපේ ව්‍යවසායකත්ව කුසලත‍ාවෙන් පමණක් දියුණු වූ රෝහලක්. අපි ‘සික්ස්ත් ලේන් වින්’ රෝහල හැදුවෙ අපිම මිලට ගත් යාබද ඉඩමක. අපේ දැවැන්ත කාර් පාක් එක හැදුවෙත් එහෙමයි. මේ හැම ඉඩමක් ම අපි මිලට ගත්තෙ වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට. එක පර්ච් එකක් අපිට අඩු මිලකට ලැබුණෙ නැහැ. රටේ පවතින ආර්ථිකය හමුවේ සහ සත පනහක රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණු තත්ව හමුවේ අපි ව්‍යාපාරය මේ තැනට ගෙනාවේ pure entrepreneur Skills වලින්. මේ තමයි, ඔබ කියන ඔය, දැක්මක් ඇති නායකත්වය (visionary leadership) ට, මගේ ජීවිත උදාහරණය.

මේ තරම් දේ කරපු ඔබ ඇයි, රෝහල් හිමිකරුවෙක් හැටියට චැනලින් ගාස්තු ඉහළ යාමට එරෙහිව මුකුත් නොකරන්නෙ…
එය අපේ පාලනයෙන් තොර නිසා. අපි නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ භාවිත කරන දැවැන්ත රෝහලක්. නේවාසික වෛද්‍යවරු, හෙදියන් හාර පන් සියයක්, ජාලය පුරා විහිදුණු රසායනාගාර, තාක්ෂණික අංශ ඇතුළු 2100 ක් වන සමස්ත සේවක මණ්ඩලයක් අපි නඩත්තු කළ යුතුයි. මෙහෙම පසුබිමක අපි රෝහල් ගාස්තු ලෙස අය කරන්නේ රුපියල් 500 යි. වෛද්‍ය ගාස්තුවට බලපෑමක් කරන්න අපිට බැහැ. ඒ වගේම, මතක තියාගන්න! සෑම චැනල් එකකට ම, රෝගියෙක් 15% ක් රජයට බදු ගෙවනවා.

ඔබ බොහොම සූර ව්‍යාපාරිකයෙක්… එකඟ ද මේ කතාවට…
ඔව්. මං අත ගහන්නෑ පාඩු ලබන ව්‍යාපාරවලට. බිස්නස් නම් බිස්නස්. චැරිටි නම් චැරිටි. මං බිස්නස් එකෙන් චැරිටි කරන්නෑ. චැරිටි වලින් බිස්නස් කරන්නෙත් නැහැ. අපේ වකුගඩු ‘ඩයලසිස් යුනිට්’ එක තනිකර ම පවත්වාගෙන යන්නෙ ‘කොස්ට් එකට’. මාසෙකට වකුගඩු රෝගින් 375 – 400 ක් එනවා ඩයලසිස් කර ගන්න. කොහොම හම්බ කරන්න පුළුවන්ද. ඒත් අපි ඒ කටයුත්තෙදි අය කරන්නෙ වියදම් ගාස්තුව විතරයි. මොකද, ඒක මට පුණ්‍ය කටයුත්තක්. අ‍පේ ලේ බැංකුවත් එහෙමයි. මේ දෙකම, ලාබයෙන් ‍තොරව කරන සමාජ සේවා කටයුතු. මොන තරම් පාඩු වුණත් මේ යුනිට් දෙකේ කොලිටිය අඩු කරන්නෙත් නැහැ. සේවාව නවත්වන්නෙත් නැහැ. ඒ වගේමයි, මගේ තාත්තා දීපු ඉඩමක අරඹපු ‘තුඩාවේ ළමා නිවාසය’ටත් අපි තව ම වැඩ කරන්නේ.

ගණකාධිකාරිවරු කියන්නෙ සතේට ගණන් බලන අය. ඔබත් එහෙමද…
මම ව්‍යාපාරික දෙයකට අත ගහන්නෙ ඒ ගැන ඉතා හොඳින් අධ්‍යයනය කරලා. මගේ ගණකාධිකරණ දැනුමෙන් හැම පැත්තක් ගැනම කල්පනා කරලා. ගණන් හදලා. ‘සීනියර් චාටඩ් එකවුන්ටන්ට්‘ කෙනෙක් හැටියට ඒක මගේ ඇ‍ඟෙන් එන දෙයක්. නමුත් මං, එකවුන්ටන්ට් කෙනෙක් නොකරන දෙයක් කළා. මං ව්‍යවසායකයෙක් වුණා. එහෙම නොකළා නම් මට මේ තරම් දුර එන්න ලැබෙන්නෙත් නැහැ. ඒකටත් ‘ගට් ‍‍ෆීලින්’ තියෙන්න ඕනේ.

මොකක්ද මේ ව්‍යාපාරයේ ඔබ ගත් ලොකු ම අවදානම…
මේ රටේ යුද්ධය උග්‍රව පැවැති කාලයක, රුපියල් බිලියන දෙකක ආයෝජනයක් ලෙස මං අපේ ‘සික්ස්ත් ලේන් වින්’ රෝහල ආරම්භ කළා. ඒක එකක්. අනෙක අපේ රටට පළමු අත්දැකීමක් ලෙස මීට අවුරුදු 20 කට පෙර ‘හාට් සෙන්ටර්’ එක හඳුන්වා දුන්නා. මං ඒකෙ රිටර්න් එක දැනගෙන හිටියා. ඊට පස්සෙ අනෙක් රෝහල් වුණත් බය නැතිව හාට් සෙන්ටර්ස් ඇරියා. ඒ වෙලාවෙ අවදානමක් වුණත්, මට වයස 21 දි හෘදයාබාධයකින් මිය ගිය මගේ අම්මා වෙනුවෙන් යමක් කරන්නත් ඕනෙ වුණා. හැම වෙලාවෙ ම මට හිතුණෙ දියුණු වෛද්‍ය පහසුකම් තිබුණා නම් අම්මව බේරගන්න තිබුණ කියලා. හරියන්න හරි වරදින්න හරි, හාට් සෙන්ටර් එක පටන් ගන්න ‘ගට් ෆීලින්’ එක ආවෙත් අම්මා ගැන මතකය නිසා. මට වැරදුණේ නැහැ.

ව්‍යාපාරය පහු කළ දුෂ්කර ම කාලය කුමක් ද…
එහෙම කාල අවුරුද්දකට දෙතුන් වතාවක් උදා වෙනවා. අප්‍රේල් නිවාඩු මාසේ… අගෝස්තු පාසල් නිවාඩුව, මේ කාලවලට මිනිස්සු රෝහල්වලට එනවා අඩුයි. හැබැයි නත්තල් ඉවර වුණාම තමයි වැඩි දෙනෙක් රෝහල්ගත වෙන්නේ.

ඔබ ඔබව ගොඩනඟපු හොඳ ම විදිය මොකක්ද…
මගේ ගෙදර මං කැමතිම තැන මගේ ‘ස්ටඩි රූම්’ එක. මං ඉගෙන ගත් කාලෙ පටන් අද දක්වා ලෝකෙ වටිනා පොත් එකතුවක් එතැන තියෙනවා. මං හුඟක් පොත් කියවන කෙනෙක්. මගේ ඥාන ශක්තිය දියුණු වුණෙත් ඒ පුරුද්දෙන්. සති අන්තයේ මං වැඩි වෙලාවක් ගත කරන්නෙ එතැන. මගේ සියලු අලුත් සිතුවිලි උපදින්නෙ එතැනින්. ස්ටඩි රූම් එකේ ගත කරලා එළියට එන හැම මො‍හොතක්ම මට නැවුම්. ඇත්තට ම මං මාව ගොඩනැඟුවේ පොත් පත් ඇසුරේ.

මොනවද ඔබ කියවන්න කැමැති පොත්…
මං හුඟක් විෂයන් කියවනවා. නවීන තාක්ෂණයට, වෛද්‍ය විද්‍යාවට , ව්‍යාපාර කළමනාකරණයට, ව්‍යාපාර ක්‍රමෝපායන්ට අදාළ පොත් සහ ලොව ප්‍රකට ස්වයං චරිතාපදාන රැසක් මං කියවා තිබෙනවා. ඉංග්‍රිසි දැනුම පුළුල් නම්, ඔබ ලෝකෙ හොඳ ම පොත් හඹා යනවා. ඕනෑ ම විෂයක් පිළිබඳ හොඳ ම පොත් තිබෙන්නේ ඉංග්‍රිසි බසින්.

කොහෙන්ද ඔබ ඉගෙන ගත්තෙ…
කොළඹ ආනන්දයේ. ඒ කාලෙ නම් මං බොහොම නිවුණු තැන්පත් පිරිමි ළමයෙක්. කාටවත් මගෙන් හිංසාවක් නැහැ. උසස් පෙළින් පස්සෙ මං එංගලන්තෙ, ලන්ඩන් යුනිවර්සිටියට යනවා. මට තිබෙන්නෙ ගණකාධිකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ උපාධියක්. උසස් අධ්‍යාපනය වෙනුවෙන් අවුරුදු පහක් ම මං ගත කරන්නෙ එංගලන්තයේ. පස්සෙ කාලෙක කළමනාකරණය පිළිබඳ සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යයේ පාඨමාලා ගණනාවක් හදාරනවා. වෘත්තීය ජීවිතයේ ඉන්න ගමන් මං වරලත් ගණකාධිකාරිවරයෙක් වනවා. ව්‍යාපාර හදන්නත් මං දක්ෂයි. තියෙන ව්‍යාපාර වෙනස් විදියට වැඩි දියුණු කරන්නත් මං දක්ෂයි.

ජීවිතයේ කවදාවත් දුක මහන්සිය අත්විඳලා නැද්ද…
මං ඕන තරම් මොළේ මහන්සි කරන්න කැමැතියි. හැබැයි ඇඟ මහන්සි වන වැඩ, මං කැමැති අනික් අය ලවා කරගන්නයි. එංගලන්තෙ ඉගෙන ගන්න කාලෙ වුණත් මං පාට් ටයිම් ජොබ්ස් කළේ දෙවැනි අවුරුද්දෙන් පස්සෙ. එකක්, සර්විස් ස්ටේෂන් එකක කැෂියර්. අනෙක, කැසිනෝ ක්ලබ් එකක කැෂියර් සහ එනවුන්සර්. මේ දෙකම ඒ තරම් මහන්සියක් නැති රස්සා.

ඔබේ ජීවිතය පුරාම අත් නොහැරපු ගුණය කුමක් ද…
මොන උපාධිය ගත්තත් වැඩක් නැහැ ප්‍රැක්ටිකල් මනුස්සයෙක් නොවුණොත්. ඒ සඳහා ඔබ පොත පතේ පාඩමට එපිටින් සිතිය යුතුයි. වැඩ කළ යුතුයි. ප්‍රායෝගික දැනුම, අත්දැකීම්, පුහුණුව, වැරැදීම් මතින් ලබන නිවැරැදිවීම්, ඒ වෙලාවට දැනෙන හැඟීම් පොත්වල නැහැ. ඒවා ලැබෙන්නෙ වැඩ කිරීමෙන්. සිතීමෙන්. කියැවීමෙන් සහ දැනුමෙන්. ඕනෑ ම දුෂ්කර මොහොතක තමන්ට නිවැරැදි තීරණය පේන්නේ එවිට. පුද්ගල බද්ධ තක්සේරුව හෙවත් Value Judgement ‍හෝ application knowledge පොත්වල නැහැ. මගේ ජීවිතය පුරා ම තිබෙන්නෙත් මේ දේවල්.

පුංචි කාලෙත් ඔබ දක්ෂයෙක් ද…
මං ගණිතයට ආසා කළා. නිර්මාණශීලී දේ (creative things) කරන්න ඊටත් වඩා ආසා කළා. අවුරුදු දොළහ දහතුන කාලෙ මුඩ්ලියර් අමරසේකරගේ චිත්‍ර පංතියටත් ගියා. ඒකෙන්, අපි එංගලන්තෙ රෝයල් ඩ්‍රොයින් සොසයිටි’ එකේ තරගවලටත් චිත්‍ර ඇන්ඳා. සහතික දිනුවා. ඒ කාලෙ මට ‘පියානෝ එකෝඩියන්’ එක වාදනය කරන්නත් පුළුවන්.

මොනවද ඔබට තිබුණු ඉලක්ක, අරමුණු…
තේරෙන කාලෙදි මට ඕනෙ වුණේ ‘ආකිටෙක්ට්’ කෙනෙක් වෙන්න. ඒත් මගේ තාත්තා මාව අධෛර්යයට පත් කළා. අවුරුදු අටක් යනවා කිව්වා, ආකිටෙක්ට් කෙනෙක් වෙන්න. එහෙම කළේ, තාත්තට මාව ගණකාධිකාරිවරයෙක් කරන්න ඕනෙ වුණ නිසා. ඒ වුණාට අදත් මං විශ්වාස කරන්නෙ, ගෘහ නිර්මාණ ශිල්පය මගේ ලේවල තියෙන දෙයක්.

මොනවද ඔබ ළඟ තියෙන හොඳ ප්‍රතිපත්ති…
මං ‘විනයානුකූල’ මනුෂ්‍යයෙක්. මගේ චර්යාවේ සහ කෑම බීමවල පවා ඒ විනය තිබෙනවා. කොයිතරම් ආසා දේවල් මං ඉදිරියේ තිබුණත් මට පුළුවන් නොකා ඉන්න. මා ළඟ අවුරුදු විස්ස විසිපහ පරණ බීම වර්ග තිබෙනවා, මං අත නොතියපු. මොන තරම් ආස දේ වුණත්, මට පුළුවන් හිත දමනය කරගෙන අත් හරින්න. මොකද මං මගේ ශරීරය ගැන හරි සැලකිලිමත්.

ඔබේ බිරිඳත් ව්‍යාපාරවලට සම්බන්ධයිද…
නැහැ, එයාට තියෙනවා සමාජ සේවා වැඩ. එයා ‘ඉනර්විල් ක්ලබ්’ එකට වැඩ කරනවා. එයා බොහොම හොඳ බිරියක්. ගෙදරට තමන්ගෙ දරුවන්ට වගේ ම සමාජෙටත් වැඩ කරන්න ඇය දක්වන කැමැත්ත ගැන මට සතුටුයි. මොකද ඒවා සල්ලිවලින් කරන උපකාරවලට වඩා එහා ගිය දෙයක්. රටේ ව්‍යසනයන් වුණ හැම වෙලාවෙ ම ඇය ඍජුවම ගිහින් ශ්‍රමයෙන් ශක්තියෙක් වැඩ කරනවා.

ආගමත් එක්ක බැඳීමක් තියෙනවද…
මං පන්සල් බෞද්ධයෙක් නම් නෙවෙයි. මට තියෙන්නෙ බුද්ධ ධර්මය සමඟ ප්‍ර‍ායෝගික බැඳීමක් පමණයි. ඒ ධර්මය තුළ හැසිරීම ඇරෙන්නට, මං වෙන යම් දේ පස්සෙ හඹා යන්නෑ. මං කර්මය දැඩිව විශ්වාස කරනවා. අපිට ඵල දෙන්නෙ අපි කරන හොඳ නරක පමණයි. වැඩ කරද්දි රාහු කාලයත් මට වැදගත් නැහැ. අපි මේ ලෝකෙට එන්නෙ වෙලාව බලලද… මේ ලෝකෙන් යන්නෙ වෙලාවක් බලලද… එහෙනම් ජීවත්වෙලා ඉන්න කල් කරන දේට විතරක් වෙලාවල් මොකටද…

අන්තිමට කියන්න, ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම දේ…බිස්නස් එකක් කරන්න හිතනවා නම්, තමන් කරන්න යන දේ පිළිබඳව දැඩි ආශාවක් ඇති කර ගන්න. සම්ප්‍රදායෙන් බැහැරව හිතන්න. ඕනෑම කෙනකුට වෙනස් මාන, වෙනස් කෝණ පේන්නෙ එවිට. ඒ වෙනස ක්‍රියාත්මක කරන්න ‘ගට් ෆීලින්’ ඇති කර ගන්න. ව්‍යාපාරයේ අසීරු අවස්ථාවන්ට මුහුණ දීම, පාලනය කිරීම, ජය ගැනීම ඔබේ ජීවිත පුරුද්දක් කරගත යුතුයි. මොකද මේ දේවල් පොත්වල නැහැ. අනෙක ව්‍යාපාරිකයකුට මුළු ජීවිතය ම මුදල් නෙවෙයි. ඔහු ව්‍යවසායකයෙක් ලෙස අලුත් රැකියා අවස්ථා රටට බිහි කළ යුතුයි. තිබෙන ව්‍යාපාර දියුණු කළ යුතුයි. සේවකයන් බලා ගැනීම, සමානාත්මතාවයෙන් සැලකීම, අඛණ්ඩ අධ්‍යයනයන්ට ඔවුන් යොමු කිරීම හොඳ නායකත්වයක ලක්ෂණ. මේ තමයි ඔබ මගේ ජීවිතයෙන් ගත යුතු දේ.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close