පළමු දසදෙනා අතරට මටත් එන්න පුළුවන් වෙයි කියා මම විශ්වාස කළා – මෙවර ශිෂ්‍යත්ව හපන්නු

පළමු දසදෙනා අතරට මටත් එන්න පුළුවන් වෙයි කියා මම විශ්වාස කළා – මෙවර ශිෂ්‍යත්ව හපන්නු

මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලේ ක්‍රිෂාන් පළමු තැනට මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ අතර ලකුණු 198 ක් ලබාගෙන ප්‍රථම ස්ථානයට පැමිණ ඇත්තේ මී

ජනප්‍රියත්වය ලුහුබඳින ආසාවක් මට නැහැ – චාමර
එක රැයින් ලොව­පුරා ප්‍රසිද්ධ වුණු ගීත ගයන ට්‍රම්ප්
ගුවනේ ඇති වූ ආදර කතාව දුරදිග ගිය හැටි – ළහිරු

මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලේ ක්‍රිෂාන් පළමු තැනට
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ අතර ලකුණු 198 ක් ලබාගෙන ප්‍රථම ස්ථානයට පැමිණ ඇත්තේ මීගමුව හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. දිනුක ක්‍රිෂාන් කුමාර් ශිෂ්‍යයායි. ලකුණු 197 ක් බැගින් දෙවන ස්ථාන දෙකක් ලබාගෙන ඇත්තේ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඒ. එම්. ඉඳුමිණි ජයරත්න හා සංජන නයනජිත් තෙන්නකෝන් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. ලකුණු 196 ක් ලබාගෙන තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ තරූල් සහස් ධර්මරත්නයි.

නිර්මාණශීලී ඉංජිනේරුවකු ලෙස මවුබිමට කීර්තියක් ගෙනදීම මගේ අාසාවයි
– ප්‍රථම ස්ථානය දිනාගත් දිනුක ක්‍රිෂාන්

ශීෂ්‍යත්ව විභාගයෙන් මුල් දසදෙනා අතරට එතැයි විශ්වාස කළාත් පළමුවැන්නා වේයැයි නොසිතු බවත් නිර්මාණශීලී ඉංජිනේරුවකු ලෙස අනාගතයේ දී මව්බිමට කීර්තියක් ගෙන ඒම තම අභිප්‍රාය බව මෙවර පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඩබ්ලියු.කේ. දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ තම ජයග්‍රහණය වෙනුවෙන් ‘දිනමිණ‘ට අදහස් දක්වමිනි.

මීගමුව දළුපොත සිරකඳවුර පාරේ පදිංචි කේ.වසන්ත කුමාර 43 මහතාගේ හා කේ. ක්‍රිශාන්ති ශිරෝමාලා 41 මහත්මියගේ වැඩිමහල් පුතා දිනුකය. ඔහු පළමු ශ්‍රේණියේ සිට මීගමුව් හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඉගෙනුම ලබා ඇත.

දිනුක සිසුවා පලමු වසරේ සිට ගෙවුනු වසර පහේදීම පන්තියේ දක්ෂතම සිසුවෙකුවූ බව විද්‍යාලීය ගුරුවරු පැවසූවේ මහත් ආඩම්බරයෙනි. වසරින් වසර දක්ෂතා ඔප් නංවා ගත් දිනුක සිසුවා මේ වසරේ සිය උපරිම දකෂතා පෙන්නුම්කරමින් විදුහල් නාමය රන් අකුරින් ලියා ඇති බව ගුරුවරුන්ගේ අදහසය.

දිනුක ක්‍රිෂාන් තම ජයගහණය ගැන මෙසේ අදහස් දැක්වීය.

“හැම වසරකදීම මට පන්තියේ මුල්තැන ගන්න පුළුවන් වුණා. ශිෂ්‍යත්වයෙන් ලංකාවේ පළමු දහ දෙනා අතරට යන්න පුළුවන් බවට මා තුළ විශ්වාසයක් තිබුණා. මම නිතරම කටයුතු කළේ ඒ විශ්වාසය අනුවමයි. මම ශ්‍රී ලංකාවේ පළමුවැනියා වෙන්න ලැබෙයි කියා හීනෙකින්වත් මට හිතුණේ නැහැ. මම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වුණා කියලා දැන ගත්තාම මට මහත් සතුටක් ඇති වුණා.

මගේ අම්මා තාත්තා පළමු පන්තියේ සිටම උගන්වපු ගුරුතුමන්ලාත් පහ ශ්‍රේණියේ පන්ති බාරව මගේ අනාගතය සරු කරගන්න අතදුන් පාලිත වනිගසිංහ ගුරුතුමාතම් අවස්ථාවේ දී සිහපත් කරනවා. මම අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නාත් සංගීත කණ්ඩායමේත් කටයුතු කෙරුවා. ක්‍රිකට් සෙල්ලම් කළා. බාහිර වැඩ කළා. එහෙත් කිසිවිටක පාසලේ වැඩ කටයුතු අතපසු කළේ නැහැ. මම වැඩියෙන්ම ආසා කළ විෂය වුණේ ගණිතයයි. මම නිර්මාණශීලී ඉංජිනේරුවකු වෙන්න බලාපොරොත්තු වෙනවා.

දිනුක සිසුවාගේ පන්ති භාර ගුරුවරයා වන පාලිත වනිගසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

දක්ෂ දරුවන් අතර සුවිශේෂි දරුවකු ලෙස මම මේ දරුවා අඳුනා ගත්තා. ඔහු නිතරම කැපී පෙනුණු දරුවෙක්. ඇත්තටම ඔහු දැනුම පිපාසයෙන් පෙලූණා. මම නිතරම කලේ ඊට අවශ්‍ය මගපෙන්වීම නිවරදිව හා නිරවුල්ව ලබාදීම පමණයි. මම දරුවා පීඩාවට පත්වන විදියට වැඩ කළේ නැහැ. දිනුකට ලමා කාලය ගත කරන්න ඉඩ දුන්නා. එහි ප්‍රතිඵලයක් විදියට මේ පුතා අද විදුහලේ බලාපොරෙත්තුව ඉටු කරලා ති්යෙනවා.

දරුවාගේ පියා කේ වසන්ත කුමාර මහතා මෙසේ කීවේය.පුතා මහින්සි වෙලා බගෙණීමේ වැඩ කලා. අපි ඒවාට සහාය දුන්නා. පාසලේ ගුරුවරුන්ගේ මග පෙන්වීම නිසා පුතා මේ ජයග්‍රහණය ලබා ගත්තා. පාසලේ ගුරුවරුන් කළ සේවය කැපවීම මම අගේ කරන අතර ඒ සැමට ස්තුතිය පුද කරනවා.

අක්කා පාස් වුණ දවසේ හිතුවා මම ලංකාවේ පළමුවැනියා හෝ දෙවැනියා වෙනවා කියලා
– දෙවැනි ස්ථානය දිනාගත් සංජන නයනජිත්

මෙවර පැවැති පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම ලකුණු 197 ලබාගෙන දෙවන ස්ථානය හිමිවූයේ වරකාපොළ තුල්හිරිය ප්‍රාථමික විදුහලේ ටී. එම්. සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවාටය. බෙලිගල මැටියගනේ පදිංචි මෙම සිසුවාගේ එකම සහෝදරියද මෙම විදුහලින්ම අධ්‍යාපනය ලැබ ශිෂ්‍යත්වය සමත්ව කුරුණෑගල මලියදේව මහ විදුහලේ අටවෙනි වසරේ ඉගෙනුම ලබයි. සංජන නයනජිත් සිසුවා මෙසේ පැවසීය.

“මට පන්තියේදී ගුරුතුමිය හොඳට උගන්වනවා. බැරි දෙයක් වුණොත් අහගෙන නැවත ගෙදර දී පාඩම් කරනවා. අම්මත් නිතර පාඩම් කියා දෙනවා. මගේ අක්කත් මෙම පාසාලෙන් ඉගෙන ගෙන ශිෂ්‍යත්ව සමත්ව දැන් කුරුණෑගල මලියදේව විදුහලේ අට වසරේ ඉගෙනුම ලබනවා. මම අලව්වේ අමතර පන්ති දෙකකට ගියා. පාසැලේදී ගුරුතුමිය කියලා දෙන දේවල් නැවත නැවත පාඩම් කරනවා. මම අක්කා පාස් වුණු දවසේ හිතුවා ඊට වැඩිය ලකුණු අරගෙන ලංකාවෙන් පළමුවෙනියා හෝ දෙවෙනියා වෙන්න. ඒක හරිගියා. දැන් මගේ ආශාව ඉංජිනේරුවෙක් වෙන්න. ඒක හරියයි කියලා මම හිතනවා. මට අද හරි සතුටුම දවසක් බවත් පැවසීය”.

ඔහුගේ මව වන ශ්‍රියානි මංගලිකා දමයන්ති මහත්මිය මෙසේ පැවසීය.

“මගේ මහත්තයා වැඩ කරන්නේ ත්‍රිකුණාමල පොලිසියේ. ඔහු පුතා සමත් වෙන බව දැනගෙන ඊයේ නිවාඩු දමලා ගෙදර ආවා. ඒ සමත් වුණාම කුරුණැගල හොඳ පාසැලකට දමන්න කියලා. මෙහාට මාරුවක් ගත්තා. අපි හැමදෙනෙක්ම දැනගෙන හිටියා පුතා සමත් වෙනවා කියලා. පන්ති භාර ගුරුතුමියත් කීවා පුතා නිතර පොත පතේ වැඩවලට යොමු වෙලයි ක්‍රියා කළේ. පුතාට හරිම ආදරෙයි. ඇයත් කීවා පුතා ඉහළින්ම සමත් වෙනවා කියලා. මට හරිම ආඩම්බරයි”

පන්ති භාර ගුරුතුමිය වන චාන්දනි විජේරත්න මහත්මිය

“දරුවා කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයි. මා නම් හිතුවේ පළමුවෙනියා වෙයි කියලා. මීට පෙර ලංකාවෙන් පළමුවෙනියා වුණේ ලකුණු 196 අරගෙන. එ් නිසා මේ ලබාගත් ජයග්‍රහණය අති විශිෂ්ට ජයක්.මව හැමදාම පාසලට එනවා. මෙහෙ තියන වැඩ කරනවා. පාසලට ආධාර උපකාර කරනවා. අනිත් මාපියන්ද උදව් කරනවා. විදුහල්පති බස්නායක මහතාත් පාසලේ ළමුන් ගැන නිතර සොයා බලා වැඩ කරනවා. ඒකත් අප ලැබූ ජයග්‍රහණයක්. අද මටත් හරිම සතුටුයි. අප විදුහල එකතු වී ලබන වසරේ මේ වගේ තවත් දරුවන් සමත් කරවන්න කැපවෙනවා. ”

මගේ ජයග්‍රහණයට හැමෝම උදවු කළා
– දෙවැනි ස්ථානය හිමිකරගත් මතාෂා ඉඳුමිණි

2017 ශිෂ්‍යත්ව විභාගයෙන් මෙවර ලකුණු 197 ලබා ලංකාවේ දෙවෙනි ස්ථානය හිමිකරගත් ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් ගණේමුල්ල වැලිපිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ මතාෂා ඉඳුමිණි ජයරත්න ශිෂ්‍යාව සොයා අපි එම විද්‍යාලයට පිය නැගුවෙමු.

අප එම පාසලට යන අවස්ථාවේ මතාෂා දියනිය තමා ලබාගත් ජයග්‍රහණයේ සතුට හා කෘතගුණ සැලකීමට තමාට අකුරු කරවූ පාසලට සියමව සමඟ පැමිණ සිටියාය. පියා විදේශගතව ඇති අතර ලකුණු 197 ලබා ලංකාවේ දෙවෙනි ස්ථානය ලබා ගැනීම සම්බන්ධව අපි ඇයගෙන් විමසීමක් කළ විට ඉතාම නිහතමානීව ඇය මෙසේ ප්‍රකාශ කළාය.

“පාසල ඇරිලා ගෙදර ගිහින් පාඩම් කළා. පන්තියේ වැඩ එදිනෙදා ඉවර කළා. ගෙරද ගිය ගමන්ම පාඩම් කළේ නෑ. විවේක අරන් පාඩම් වැඩ කළා. අමතර පන්තිවලට සහභාගි වුණා. මෙම ජයග්‍රහණයට මගේ පන්තිභාර ගුරුතුමා ආර්.බී.එල්. පත්මසිරි සර්, විදුහල්පතිනි තුෂාරා අබේසේකර මැඩම්, පාසලේ ගුරුවරරු දෙමාපියන් අමතරපන්ති ගුරුවරු සහෝදරයා, ඥාතීන් උදව් කළා. මේ ජයග්‍රහණයට උදව් කිරීම සම්බන්ධව ඒ සියලු දෙනාටම මම හෘදයාංගමව ස්තූති වන්ත වෙනවා යැයි පැවසීය.

මෙම පාසල දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කර යහපත් පුරවැසියන් භිහිකරන ශ්‍රේෂ්ඨ පාසලක් බව අපට වැටහුණේ, එම පාසල් පරිසරය අධ්‍යාපනය සඳහා සකස් කර තිබූ මනරම් ආකාරය දුටු විටයි. එහි විදුහල්පතිනි තුෂාරා කාංචණී අබේසේකර මහත්මියද මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මෙ‍සේ පැවසුවාය.

“අපි 3 ශ්‍රේණියේ ඉඳලා ශිෂ්‍යත්වය අරමුණු කරගෙන දරුවන්ට විවිධ ප්‍රතිපෝෂණ වැඩ ක්‍රියාත්මක කරනවා. මෙහිදී දරුවෝ හැඳුනාගැනීම ඉතාම වැදගත්. විවිධ මට්ටම්වල දරුවන්ට දන්නා තැනින් නොදන්නා දේට ගෙනයන අධ්‍යාපන සංකල්ප අපි ක්‍රියාත්මක කරනවා. එහි සුවිශේෂී ප්‍රතිඵලය තමයි මේ ජයග්‍රහණය. අපි විෂය නිර්දේශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා” .

ඇයගේ පන්ති භාර ගුරුතුමා වන ආර්.බී.එල්.පත්මසිරි මහතාගෙන්ද අපි අදහස් විමසුවෙමු.

5 ශ්‍රේණියට පැමිණි දරුවන්ගේ හඳුනාගැනීමේදී මේ දැරිය විශේෂ දක්ෂතාවයක් ඇති බව අප වටහා ගත්තා. ඇය ගැනත් අනෙක් දරුවෝ ගැනත් මම විදුහල්පතිනිය සමඟ සාකච්ඡා කළා. පන්තියට අදාළ නිපුණතා වර්ධනය සඳහා ශිෂ්‍යත්ව විභාගය ද අරමුණු කරගෙන ඔවුන්ට අවශ්‍ය ඉගෙනුම් පරිසරය ලබා දීමට කටයුතු කළා යැයි පැවසීය.

ගණිතයට වැඩියෙන්ම කැමතියි ගුවන් නියමුවකු වීම මගේ ආශාවයි
– තුන්වැන්නා තරුල් සහස් කියයි

ගණිතය විෂයට බොහෝ ආශා කරන තමන් අනාගතයේ ගුවන් නියමුවකු වීමට බලාපොරොත්තු වන බව මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව මුළු දිවයිනෙන් ම තුන් වැනි ස්ථානයට පත්ව සිටින ගම්පහ කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.ඒ.තරුල් සහස් ධර්මරත්න සිසුවා පවසයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රවාහන වැඩ මූලිකවරයකු ලෙස සේවය කරන ඩී.ඒ.ඩී.ඩී. ධර්මරත්න මහතාගේත් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ රාජ්‍ය කළමනාකරණ සහකාරිනියක ලෙස සේවය කරන කේ.කේ. සරෝජනී කුලතුංග මහත්මියගේත් බාල දරුවා වන්නේ තරුල් ය. ඔහුට එක් වැඩිමහල් සොහොයුරියක ද සිටින්නී ය.

‘ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ මුල් ස්ථානයට එන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. විදුහල්පතිති මල්ලිකා ලාල් පෙරේරා මහත්මියත්, පත්තිභාර ගුරුතුමිය ඉනෝකා නිල්මිණි මහත්මියත් විභාගය ලියූ අපි හැමෝට ම මඟ පෙන්නුවා. හැමදාම වැඩිපුර පැය දෙකක් අමතර ඉගැන්වීම් කළා. ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියනකොට විභාගය ගැන හොඳ විශ්වාසයක් ඇති වුණා.

පාසලේ උගන්වන පාඩම් හැමදාම ගෙදර ඇවිත් නැවතත් කියවලා හොඳින් තේරුම් ගත්තා. අමතර පන්තිවලටත් සහභාගී වුණා. ඒ අතරේ කැමති රූපවාහිනී ළමා වැඩසටහනුත් නැරඹුවා. සතුන් සහ පරිසරය ගැන කියවෙන වැඩසටහන් බලන්න මම හරි ආසයි.

අම්මත් තාත්තත් මගේ අධ්‍යාපන වැඩවලට උදවු කළා. පොත් පත්, අධ්‍යාපනික පුවත්පත් ගෙනත් දුන්නා. මගේ අක්කත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. අක්කත් මගේ පාඩම් වැඩවලට හුඟක් උදවු කළා. මේ හැමෝටම ස්තුතිවත්ත වෙනවා’ යනුවෙන් ද තරුල් සහස් ධර්මරත්න සිසුවා පැවසුවා ය.

තරුල් සහස් සිසුවා කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු ලෙස ද කටයුතු කරයි. ඒ අතර තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවලදී විවිධ ක්‍රීඩා ඉසස්වලින් ජයග්‍රහණ ද අත්පත් කර ගැනීමට සමත්ව සිටී. ගද්‍ය රචනා අංශයෙන් කොට්ඨාස මට්ටමේ තෙවැනි ස්ථානය ලබා ගැනීමට ද තරුල් සමත්ව තිබේ. එයට අමතරව දහම් පාසලේ ද ඔහු දක්ෂතා දක්වන සිසුවෙකි. කලාප මට්ටමේ දහම් දැනුම තරගවලින් ජයග්‍රහණ ලබා ඇති බවද තරුල් අප හා පැවසුවේ ය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close