පරණ වැරදි අමතක කරල  ධනාත්මකව තරග වදිනවා – ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්

පරණ වැරදි අමතක කරල ධනාත්මකව තරග වදිනවා – ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්

ටෙස්‌ට්‌ ක්‍රීඩාවට කදිම තෝතැන්නක්‌ ලෙස සකස්‌ කර ඇති කොළඹ එස්‌.එස්‌.සී. තණතීරුවේදී ඉතිහාසයේ ජයග්‍රාහී ප්‍රතිශතය 47.50% ක්‌ ලෙස රඳවා සිටින ශ්‍රී ලංකාව අ

පාකිස්තාන-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අද ඩුබායිහිදී
ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබයි
පාකිස්තානයට එරෙහිව ජයත් සමග ශ‍්‍රී ලංකාව 6 වැනි තැනට

ටෙස්‌ට්‌ ක්‍රීඩාවට කදිම තෝතැන්නක්‌ ලෙස සකස්‌ කර ඇති කොළඹ එස්‌.එස්‌.සී. තණතීරුවේදී ඉතිහාසයේ ජයග්‍රාහී ප්‍රතිශතය 47.50% ක්‌ ලෙස රඳවා සිටින ශ්‍රී ලංකාව අද (03 දා) ලොව අංක එකේ ටෙස්‌ට්‌ පිල වන ඉන්දියානුවන්ට අභියෝග කිරීමට ලහි ලහියේ සැලසුම් සකස්‌ කර තිබේ.

එස්‌.එස්‌.සී පිටියේදී ශ්‍රී ලංකාව තරග කළ ටෙස්‌ට්‌ තරග 40 කදී ජයග්‍රහණ 19 ක්‌ ලබද්දී පරාජයන් ලබා ඇත්තේ 7 ක්‌ පමණි. අවසන් වරට එස්‌.එස්‌.සී. පිටියේදී ඔස්‌ටේ්‍රලියානුවන්ව දමනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවද ඉන්දියානුවන්ද අවසන් වරට මෙම පිටියේදී ජයග්‍රහණයක්‌ මිට මොළවා ගැනීමට සමත්ව තිබේ.

මේ වන විටත් තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගෙන සිටින ඉන්දියානුවන්ද එස්‌.එස්‌.සී. තණතීරුව පිළිබඳව ප්‍රසාදයකින් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී තහවුරු විය. “අපි කොහොමත් කැමතියි මේ වගේ තණතීරුවලදී ක්‍රීඩා කරන්න. මොකද ටෙස්‌ට්‌ ක්‍රීඩාවට හොඳ තණතීරුවක්‌ වගේ පේන්න තියෙනවා.” යෑයි ඉන්දියානු නායකයා පැවසීය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවීමට නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් පැමිණීමත් සමග කණ්‌ඩායමේ සමබරතාවට මහත් රුකුලක්‌ වී තිබේ. “අපේ අතින් පළමු තරගයේ වැරදි වුණා. නමුත් දැන් ඒ සියල්ල අමතක කරලා ධනාත්මකව මේ තරගයට මුහුණ දෙන්න අපි සූදානම්. මොකද ඉන්දියාව කියන්නෙ ලෝකයේ අංක එකේ කණ්‌ඩායම. ඒ නිසා ඔවුන් අපිට කොහොමත් අභියෝගාත්මකයි.” යනුවෙන් චන්දිමාල් පැවසීය.

චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරගයකට නායකත්වය දෙන දෙවැනි අවස්‌ථාව මෙය වේ. ඔහු පසුගිය මාසයේ සිම්බාබ්වේට එරෙහිව පළමු වරට නායකත්වයේ ඔටුන්න දමාගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. නව නායකයා ලෙස ඔහුගේ සැලසුම් සහ අදහස්‌ මෙසේ මාධ්‍ය හමුවේ මුදා හැරියේය.

“මගේ කණ්‌ඩායමේ සියලුම කොල්ලන් සමග කතා කළා. කණ්‌ඩායම් රැස්‌වීම්වලදී ආකල්ප, ප්‍රගතිය, විනය, දැක්‌ම සහ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අරමුණ වැනි කරුණු පහ මුල් කරගෙන තමයි අපි සියලු දෙනා ක්‍රීඩා කරන්නෙ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා වෙහෙස මහන්සි වී පුහුණුවීම් කළා. පසුගිය කාලයේ පන්දු රැකීම දුර්වල වුණා. නමුත් අවසන් තරග දෙකේදී අපි ඒ අඩුපාඩු ගොඩක්‌ දුරට නිවැරදි කරගෙන තියෙනවා. උඩපන්දු අල්ලන්නෙ නැතිව තරග දිනන්න බැහැ. අපි සුබවාදීව තරග වදිනවා.”

කෙසේ වෙතත් නිව්මෝනියා තත්ත්වයක්‌ ඇතිවීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා සති දෙකක්‌ ගතවීමට පෙර ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වීමේදී තිබෙන ශාරීරික අපහසුතාව පිළිබඳව චන්දිමාල්ගෙන් විමසන ලදුව, “ඇත්තටම මම මේ අවස්‌ථාවේදී අයි.සී.සී. යට ස්‌තුති වන්ත වෙනවා. මොකද ඔවුන් මට ඉන්හේල ලබාගෙන තරග වදින්න අවසරය දීලා තියෙනවා. ඒකෙන් මට හුස්‌ම ගන්න පහසු වෙනවා. ඒ ඇරෙන්න මම යහපත් තත්ත්වයෙන් හොඳ පුහුණුවීමකින් තරගයට සුදානම්.” යනුවෙන් පැවසීය.

ඉන්දියානු දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රවීන්ද්‍ර ජදේජා සහ රවීචන්ද්‍රන් අශ්වින් මේ වන විට ටෙස්‌ට්‌ ශ්‍රේණියේ පළමු සහ දෙවැනි තැනට පත්ව තිබේ. දෙවැනි තැන සිටි රංගන හේරත් ගාල්ල ටෙස්‌ට්‌ තරගයේදී එක්‌ කඩුල්ලක්‌ පමණක්‌ දවා ගැනීම හේතුවෙන් ඔහු තෙවැනි තැනට ඇද වැටුණි.

“රංගන කියන්නෙ අපේ අංක එකේ පන්දු යවන්නා. ඔහු පසුගිය අවුරුදු 7-8 අපිට තරග දිනවල දුන්න පන්දු යවන්නෙක්‌. ඒ නිසා ඔහු මේ වන විට තරගයට සූදානමින් ඉන්නවා. කොහොම වුණත් ඉන්දියානු පන්දු යවන්නන්ට මුහුණ දෙන්න අපි වැඩි හරියක්‌ රිවර් ස්‌විප් සහ ස්‌විප් පහරවල් පුරුදු පුහුණු වුණා. ඒ දේවල් එක පාරටම ප්‍රායෝගික කරන්න අමාරුයි. පුහුණුවීම්වලදී කරන දේ මැදට ගිහිල්ල කරන්න පහසු වෙනවා.” යෑයි ශ්‍රී ලංකා නායකයා තවදුරටත් සඳහන් කර සිටියේය.

මලින්ද පුෂ්පකුමාරට අද තරගයේදී ක්‍රීඩා කිරීමේ අවස්‌ථාවක්‌ ඇති බවත් දඟ පන්දු යෑවීමේ හැකියාව ඇති ධනංජය ද සිල්වාට පිතිකරුවකු ලෙස අසේල ගුණරත්නගේ ස්‌ථානය හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් චන්දිමාල් ඉඟි පළ කළේය. එමෙන්ම ළහිරු තිරිමාන්න ඉතාමත් හොඳ මානසිකත්වයකින් පුහුණුවීම් කරමින් කණ්‌ඩායමේ සිටින බවත් හොඳම සංයුතිය අද තරගයට සහභාගි වන බවත් චන්දිමාල් පවසයි.

“අපි මේ තරගයට 12 දෙනෙක්‌ නම් කරල තියෙනවා. අද උදැසන තණතීරුව බලල 11 දෙනාව නම් කරනවා.පළමු තරගයේ වුණ හොඳ දේවල් ඒ අයුරින්ම ඉටු කරන්න අපේක්‍ෂාවෙන් බලා ඉන්නවා.” යෑයි ඉන්දියානු නායක විරාට්‌ කෝලි පවසා සිටියි. ඉන්දියානුවන් එස්‌.එස්‌.සී. පිටියේදී ජයග්‍රහණය සහ පරාජයන් දෙක බැගින් ලබා තිබුණද ඔවුන් මේ වන විට අංක එකට පත්ව තිබීම ශ්‍රී ලංකාවට තරමක පීඩනයක්‌ ගෙන දෙන්නක්‌ වී තිබේ. කෙසේ වෙතත් ඉන්දියානුවන්ද ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් ඔවුන්ටද ටෙස්‌ට්‌ ශේ්‍රණියේ අංක එක නැතිව යැමේ අවධානමක්‌ මතුව ඇත.

අද තරගයේදී චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ක්‍රීඩා කළහොත් පළමු තරගය ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලකට ඉවත්වීටම සිදුවේ. ඩිල්රුවන් පෙරේරා හෝ මලින්ද පුෂ්පකුමාර දෙදෙනාගෙන් එක්‌ අයෙකු අද ක්‍රීඩා කිරීමේ අවස්‌ථාවක්‌ තිබුණද එහිදී වැඩි සම්භාවිතාව ඩිල්රුවන්ට නැඹුරුව ඇත්තේ ඔහු පිතිකරුවකු ලෙසද පළමු තරගයේ දැක්‌වූ දක්‍ෂතා නිසාය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close