නරුමයන් වෙඩිතබා මරා දැමූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ දුක්බර කතාව

නරුමයන් වෙඩිතබා මරා දැමූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ දුක්බර කතාව

සුන්දරත්වය ඉතාම අලංකාරව මවන්නට මේ සොබාදහම සෑදී ඇති අයුරු අපූරුය. වනය, සතා සිවුපාවන්, ගංගා, ඇළ ‍දොළ ආදී සෑම වනයටම පමණක් සීමා වී නැත. සොබාදහම තුළ වන සතු

කැලණි පෙරහැරට විශේෂ රථවාහන සැලසුමක්
තමන්ගේ ගීත කොල්ල කා ඇතයි වෙබ් අඩවි වලට නඩු
කාන්තා ඇඳුමින් සැරසී සිටි දඹුල්ලේ තරුණයාගේ ඝාතනයේ සුලමුල හෙළිවේ …

සුන්දරත්වය ඉතාම අලංකාරව මවන්නට මේ සොබාදහම සෑදී ඇති අයුරු අපූරුය. වනය, සතා සිවුපාවන්, ගංගා, ඇළ ‍දොළ ආදී සෑම වනයටම පමණක් සීමා වී නැත. සොබාදහම තුළ වන සතුන් ගෙවනා ජීවිතය ඇත්තෙන්ම කොතරම් සුන්දරද කියා දන්නේ ඔවුන් පිළිබඳ කැක්කුමක් ඇති හදවත් පමණි. නමුත් බොහෝ පව්කාර මිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසා අද වන විට සිදු වෙමින් පවතින්නේ අහස පොළොව නුහුලනා අපරාධය. බොහෝ වන සතුන් මිනිසාගේ ගොදුරු බවට පත් වෙද්දී මුදල් තණ්හාවෙන් කෑමොර තළන ඇතැම් මිනිසුන් වන සතුන් තම ගොදුරු බවට පත් කර ගන්නේ හිත්පිත් නැති නරුමයන් මෙනි. මේ වෙනුවෙන් තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේ ඉකුත් දිනකදී මුළු රටම සෝ සයුරේ ගිල්වා මෙලොවින් සමුගත් මහා සද්දන්තයාගේ කතාව නිසාවෙනි.

කුංචනාද පරපුරේ ඉතාම දුක්බර කතාවක් මුළු රට පුරාම පැතිර ගියේ ඒ මහා තේජවන්තයාගේ නික්ම යෑමත් සමඟිනි.
අහිංසකත්වය සිය ජීවිතයේ උත්පත්තියෙන්ම රැගෙන ආ ආභරණයක් සේ ඒ හස්ති රාජයාගේ ජීවන ගමන පුරාම රැඳී තිබිණි. නමුත් මහා වනයේ සුවිශාල රුක් ගොමු පවා කම්පා වන තරමේ සාහසික මිනීමරුවන් අද ඒ පින්බර ඇතාගේ ජීවිතය උදුරාගෙන තිබිණි. ගල්ගමුවට පමණක් නොව මුළු රටටම අගයක් වටිනාකමක් දෙන්නට මේ උතුම් හස්තියා ආභරණයක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ගල්ගමුවේ දළ පූට්ටුවා නමින් මේ ලක්දිව සුපතළව සිටි එම හස්තියාගේ පණ නල පාපතරයන් උදුරාගත් කතාව ඇසූ මුළුමහත් ගල්ගමුව පමණක් නොව මුළු රටම හඬනු, සුසුම්ලනු ඇසෙයි.

වනය සිසාරා දැවැන්තයකුගේ පා සටහන් එකින් එක සලකුණු වී තිබුණද මීට කලකට ඉහතදී දළ පූට්ටුවා කිසිවකුත් හඳුනාගෙන සිටියේ නැත. කැලෑ මල්වලට පෙම් බඳිමින් සිය ජීවිත ගමන කාටවත්ම කරදරයක් නැතිව ගෙවා දමන්නට මෙම ඇතා සිතා සිටින්නට ඇත. එහෙත් නොසිතූ මොහොතක ලංකාව පුරා එක් දිනකින් ප්‍රසිද්ධියක් ලැබ ගන්නට මේ ඇත් රාජයාණන්ට වාසනාව තිබිණි. එතැන් පටන් වනජීවී නිලධාරීන්ද මේ ඇතා පසුපස සිටියේ මේ තරම් විශාල දැවැන්තයකු මින් පෙර කිසිදු දිනෙක ඔවුන්ද දැක නොතිබූ නිසාය. ඉන්පසු ලංකාවේ ඇත් පරපුරේ සුවිශේෂී ස්ථානයකට පාත්‍ර වීමේ භාග්‍ය පවා මේ දළ පූට්ටුවාගේ දෛවය පුරාම ලියැවී තිබෙන්නට ඇත. එහෙත් එවන් උරුමයක් අපට නොව සොබාදහමට අහිමි වූයේ මේ බුදුන් වැඩි තම්බපණ්ණියේ අවාසනාවකට මෙනි.

කිසිදු දිනෙක ලංකාවාසීන් නොදුටු මේ දැවැන්තයා කරළියට ආවේ එපරිද්දෙනි. ඒ 2011 වසරේදීය. සිය උපන් නිජබිම ගල්ගමුව වූ නිසාදෝ මේ දැවැන්තයාගේ නිජබිම ගල්ගමුව යැයි ඔහුගේ නමටම ආරෝපණය විය. ගල්ගමුවේ වෙල්, දෙනි, ඉපණැල් පුරා සිය තේජස් බව පැතිරූ හස්තිරාජයා කලා වැව ජාතික උද්‍යානයට පිටව යන්නේ මහා රූස්ස ගස් අතර පවා තම තේජස් බව පතුරුවමිනි. මනස්කාන්ත දළ සඟළ මෙම රජිදාණන්ගේ ආභරණයක් විය. එහි මනස්කාන්ත බව තවත් ඔප් නැංවුණේ දළ සඟළ එකිනෙක ළංව පූට්ටු වී පිහිටි නිසාය.

කලා වැව උද්‍යානය තුළ සිය පරපුරේ ඥාතීන්ගෙන් මෙම ඇතාට ලැබුණේ විශාල ඇගැයීමක්ය. ඒ වන විටත් මේ සද්දන්තයාගේ දකුණු පස ඇස නොපෙනෙන තත්ත්වයේ තිබූ නිසා ගමන් මඟ බලා ගන්නට ඉතිරිව තිබුණේ වම් පස නේත්‍රාව පමණය. නමුත් සැතපුම් ගණන් දුරක් ඒ දෙපා තබමින් ඔහු ඇවිද ගියේ වනයේ ගසකටවත් රිදෙන තරමින් නොවේ.
කලා වැවට පැමිණීමෙන් පසුව සිය වර්ගයාගෙන් මිදුණු මෙම ඇතා හෙමින් සීරුවේම වනජීවී නිලධාරීන් විසින් රැගෙන යනු ලබන්නේ රක්ෂිත ප්‍රදේශයකටය. ඒ ගල්කිරියාගම, කෝන්පොලයාගම, කටුකැලේගාව හරහා වැටුණු වන රොදක් අතරෙනි. රක්ෂිතය මැද අලුත් පරිසරයක තනි වූ මෙම හස්තියා ඊට පසුදින තවත් දුර ගෙවා විත් එකවරම මතු වූයේ මඩාටුගම ගම්මානය මැදින්ය. විශාල සද්දන්තයකු ගමට කඩාවැදීමත් සමඟ කලබල වූ ගම්මුන් හතර අත දිව ගියේ සිදුවූ කිසිවක් සිතා ගත නොහැකි ලෙසය.
එහෙත් මේ තේජවන්තයා කලබල වූයේ නැත. සිය ගමන් ඉරියව්වෙන්ම තවත් ඉදිරියට ඇදුණේ කලබලයකින් තොරවය. ඒ තැබූ පියවර සමඟින් දළ පූට්ටුවා පැමිණියේ දඹුල්ල-කැකිරාව ප්‍රධාන මාර්ගයටය. ඇතැම් විටෙක මේ සද්දන්තයාට සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිවම ඒ ප්‍රධාන මාර්ගයේම ගමන් කරන්නට ඇත. සංවේදීම සිදුවීම සිදු වූයේ ඉන් පසුය. ඒ අන් කිසිවක් නිසා නොව මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ගැටෙන මෙම හස්තියාගේ ශරීරය ක්‍රමයෙන් රුධිරය ගලන තත්ත්වයට පත්විය. වේදනාවෙන් ඇඹරෙමින් වන රොදක් අයිනෙහි නතර වූ හස්තියා සොයා වනජීවී පරීක්ෂණ ආරම්භ වූයේ ඉන් පසුය. මාර්ගයේ ගමන් ගත් වාහන 49ක ගැටී තිබූ ඇත් රජිදාට ලංකාවේ බොහෝ පශු වෛද්‍ය නිලධාරීහු පැමිණ ප්‍රතිකාර කටයුතු සිදු කළහ. ඒ මහා කරුණාවක් මෙන්ම විශාල ආදරයක්ද මෙම ඇතා වෙනුවෙන් උපන් නිසාය.

එතැන් පටන් මාස එකහමාරක පමණ කාලය පුරාම ඇත් රජිදාට වෛද්‍ය ප්‍රතිකාර සිදු කළේ කලාවැව ජාතික උද්‍යානයේ තුරුගොමු සෙවණේ සිසිලස මැදය. ක්‍රමයෙන් සුව වූ ඇත් රජිදාට අවශ්‍යව තිබුණේ සිය නිජබිම වූ ගල්ගමුවේ අහස යටට එන්නටය. නමුත් පෙර මෙන් ශක්තියක් ඒ මහා ශරීරයේ තිබුණේ නැත. එහෙත් සිදු වූයේ තවත් සංවේදී සිදුවීමක්ය. ආගන්තුක හස්තියාට උදවු කරන්නට පැමිණියේ කලා වැව ජාතික උද්‍යානයේම තවත් අලි කණ්ඩායමක්ය. ඒ කණ්ඩායම තුළ අලි ඇතුන් තිහකට ආසන්න ප්‍රමාණයක් සිටි නිසා දළ පූට්ටුවාට අවශ්‍ය ආරක්ෂාව නොඅඩුව ඒ කණ්ඩායම තුළින්ම ලැබුණේය. ඇතැම් අවස්ථාවලදී හොඬවැල ඔසවා අතු රිකිලි කඩා ගන්නට නොහැකි තැනදී අලි කණ්ඩායමේ මිතුරෝ මෙම හස්තියාට ආහාර සපයා දුන්නහ. ආදරයෙන් රැකබලා ගත්තා හැරෙන්නට කිසිවකුත් සණ්ඩු සරුවල් කරන්නට ගියේ නැත. සියල්ල ඒ ආකාරයෙන්ම සිදු වෙද්දී කණ්ඩායමේ නායිකාව වූ “හක්කී” තම සාමාජිකයන්ගේ ආගන්තුක සත්කාර දෙසම බලා සිටින්නට ඇත. අවසන තම නිජබිම වෙත ගල්ගමුවේ දළ පූට්ටුවා පැමිණෙන්නේ “හක්කී”ගේ මඟ දැනුම ඇතිවය. තම හිතවතා ගල්ගමුවට ඇරලවා “හක්කී” ඇතුළු පිරිස ආපසු කලාවැවට පිටව ගියහ.

බොහෝ විට ගල්ගමුවේ බොහෝ ප්‍රදේශ මෙම ඇතාගේ වාසභූමි වී තිබුණේය. සෑම ප්‍රදේශයකම වෙල් ඉපණැලි, වන රොද මේ අහිංසක සත්ත්වයාගේ ගුණ සුවඳ දැන සිටියේය. බොහෝ අවස්ථාවලදී ආහාර සොයා ඇවිද යද්දී සිය ඉවට දැනුණු හේන් යාය පවා මේ දැවැන්තයා විනාශ කළේ නැත.

කුසගින්නක් ඇත්නම් පමණක් රටකජු ගහක් දෙකක් ගලවා කෑවා හැරෙන්නට පැණිකොමඩු ගෙඩි දෙක තුනක් කෑවා හැරෙන්නට හේන් පිටින් පාළු කරන්නට තරම් මේ හස්තියාගේ ගතිගුණ නපුරු වූයේ නැත. නිවෙසකට පැමිණියද මෙම හස්තියාට බොන්නට වතුර ටික පුරවා තබන්නට තරම් මිනිසුන් කාරුණික වූයේද ඒ නිසාය. ඒ කරුණා ගුණ සුවඳ මැද ගල්ගමුවේ ප්‍රදේශවල සැරිසරමින් දළ පූට්ටුවාගේ කාලය ගෙවී ගියේය. රැස්වෙහෙර, පාලුකඩවල, උස්ගල, සියඹලන්ගමුව, මීගලෑව වැනි ප්‍රදේශ මෙම ඇතාට හොඳින් හුරු පුරුදුව තිබිණි. කෙසේ හෝ දළ පූට්ටුවාගේ සද්දන්ත පාදයක් ආබාධයකට ලක් වන්නේ මේ අතරය. ඒ 2016 වසරේදීය. තම නිජබිම පුරා ඇවිදිමින් කෑම සොයා නිදහස් සුව විඳින අතරේ නරුමයෙක් විසින් බඳින ලද තුවක්කුවකට මේ සද්දන්ත හස්තියාගේ පාදයක් බිලි වන්නේ මහා අවාසනාවන්ත ඉරණමක් ලෙසින්ය. දළ පූට්ටුවාගේ පසුපස වම් පාදය වෙඩි උණ්ඩයෙන් තුවාල ලබා මහා වේදනාවක් දැනෙද්දී කෙසේ ඉවසා සිටින්නට ඇද්දැයි පුදුමයකි. නමුත් කතා කර කියන්නටවත්, තමාගේ දුක පෙන්නා සිටින්නටවත් දළ පූට්ටුවාට හැකියාවක් නැත. ඒ වේදනාව පවා තනියම විඳදරා ගනිමින් දැඩි පරිශ්‍රමයක් ගෙන ඇවිද ගියේ ටිකෙන් ටික වෙඩි පහරට ලක්වූ පාදය කුණුවී සැරව පවා ගලා එද්දීය. නමුත් මේ පින්බර හස්ති රාජයාගේ පිනකට දෝ වනජීවී නිලධාරීන්ට ඒ බව දැන ගන්නට ලැබිණි. වනජීවී නිලධාරීහු වහාම ක්‍රියාත්මක වී මෙම ඇතාගේ පාදයට ප්‍රතිකාර කිරීමේ කටයුතු ඇරඹූහ. නමුත් යම් තරමක සුවයක් ලැබුවද මේ ආත්මයෙන් සමුගන්නා තුරුම ඒ පාදයේ තිබූ තුවාලය සම්පූර්ණයෙන්ම සුව අතට හැරුණේ නැත. දළ පූට්ටුවාගේ තේජස් තාලාන්විත පාදයක් ආබාධිත වූයේ එතැන් පටන්ය.

ඇත්තෙන්ම මෙම ඇත් රජාණෝ බොහෝ දුක් කරදර වින්දහ. බොහෝ මිනිසුන්ගේ පාපී හිත් හමුවේ වේදනාබර වෙඩි ප්‍රහාරවලට ලක්වූ අවස්ථාද බොහෝය. ඒ සෑම අවස්ථාවකම කියාගත නොහැකි මහා වේදනාවකින් මේ ඇත් රජිඳුන් දුක් විඳින්නට ඇත. මිනිසාට මෙන්ම හැඟීම්, දැනීම් සතුන්ට පවා ඇතැයි නොසිතන පාපතර මිනිසුන් මේ හස්තියාට වෙඩි තබා සතුටු වන්නට ඇත. ඒ සා විශාල දේහයක් වුවද ඒ ශරීරය තුළ වෙඩි උණ්ඩ සියයකට එහා ප්‍රමාණයක් ඇති බව නම් නොරහසකි.

කෙසේ හෝ 2016 වසර උදා වූයේය. දළ පූට්ටුවා සිය ජීවන ගමන තුළ වෙනදා මෙන්ම අභියෝගවලට ලක් වෙමින් ජීවත් විය. එහෙත් 2016 මුල භාගයේ අසන්නට ලැබුණේ මහා දුක්බර පුවතකි. ඒ පුවතින් කියැවුණේ සියඹලන්ගමුව ප්‍රදේශයේදී මෙම හස්තියාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබන ලද බවකි. මහා ආදරයකින් රැක ගන්නට ඔහු පිළිබඳ විපරමින් සිටි නිසාම ඒ පුවත මා සිතටද මහා සංවේගයක් එක් කළේය. වහාම ඒ ස්ථානයට මා පිටව ගියේ ගැහෙන සිතිනි. පණ මෙන් ආදරය කළ ඇත් රජාණෝ මා එහි යන විටත් වන රොදක වැටී සිටියහ. බොහෝ දෙනා ඇතා වට කරගෙන සුසුම් හෙළද්දී මා හදවත දස දහස් වර දෙවියන් යැද්දේ කිසිදු කරදරයක් උපද්‍රවයක් සිදු නොවන්නටය. වයඹ වනජීවී කලාපය භාර පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ඇතුළු පිරිස මහා පරිශ්‍රමයක් දරමින් ඇතා සුවපත් කිරීමේ කාර්යයේ නිරතව සිටියහ. එහෙත් සිතේ දෙගිඩියාව නිසාම මමද ඔවුන් පසුපසම සිටියෙමි. දෙනෙත් මත සතුටු කඳුළක් මතු කර ඇත් රජිදා පණ ලැබුවේ මා දෙවියන්ට පින් රැස් කරද්දීය.
එහෙත් ඒ සියලු දෑ විනාශ වී යන්නට එදා පටන් වැඩි කාලයක් ගත වූයේ නැත.
වසරේ අවසාන කාලසීමාව තුළදී ගල්ගමුව ප්‍රදේශයේ සිට සියඹලන්ගමුව හරහා කහල්ල පල්ලකැලේ රක්ෂිතයට වෙනදා මෙන්ම දළ පූට්ටුවා පැමිණියේ කලාවැවේ සිය නෑදෑ හිත මිතුරන් බැහැදැක එන්නටය.

නමුත් ඒ සියල්ලම අද අතීත මතකයන් අතරට එක් වී හමාරය. මුදල් ආශාවන්ට පෙරේත වූ තිරිසන්නු මේ පින්බර ඇත් රජුගේ දළ යුගලට ලොල් වූහ. දෙනෙත නොපෙනෙන හරිහැටි ඇවිදගත නොහැකිව දුක් විඳින ඒ සත්ත්වයා මරා දමන්නට තරම් ඔවුහු සාහසික වූහ. ඒ දිනය උදා වූයේද ඒ දුක්බර බව අතරෙන්මය. ඒ ඉකුත් නොවැම්බර් 22 වැනිදා මොරගොල්ලාගම, නිකවැව ප්‍රදේශයේදී ඇත් දළ යුගලක්, ගජමුතු 06ක් හා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟය. නමුත් ඒ පුවත සැලවෙද්දී හෝ ඒ දළ යුගලය මේ අහිංසකයාගේ බවට මට සිතුණේ නැත. මන්ද මේ ඇතිඳුට විනාශයක් කරන්නට තරම් රුදුරු වන කිසිවකුත් නොමැති බව මෙපමණ කාලයක් පුරාවටම සිතූ නිසාය.
නමුත් සිදු වූයේ සිහිනෙකුදු නොසිතූ දෙයක්ය. පසුදාට පහන් වෙද්දී ඒ දුක්බර ආරංචිය මගේ කන වැකුණේ හදවත මහා හඬකින් රිදුම් දෙද්දීය. අවසන වලාන දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් දළ යුගලය දළ පූට්ටුවාගේ බවට වනජීවී නිලධාරීහු සැක කළහ. එහෙත් මගේ සිත හැම මොහොතකම කීවේ ඒ නිරිදා මේ මහ කැලෑව දමා නොගිය බවය. නමුත් ඒ පැතූ සියල්ලම හැබෑවක් වෙන්නට වැඩි දවසක් ගියේ නැත.

පසුගිය 24 වැනිදා සිට වනජීවී නිලධාරීහු, සිවිල් නිලධාරීහු මෙන්ම පොලිස් නිලධාරීහු කණ්ඩායම් ලෙස කැලය පීරන්නට වූහ. කුසට අරහක් නොමැතිව පිපාසයට දිය පොදක් නොමැතිව මමද සිරස මාධ්‍යවේදී බණ්ඩාර මහතාද ඔවුන් පසුපසම වැටුණෙමි. දළ පූට්ටුවා සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ වුවද මහා ඝන කැලෑවේ කොතැනක හෝ ඒ සද්දන්තයා මතු වේවායි මම දහස්වර ප්‍රාර්ථනා කෙරුවෙමි. එහෙත් දවසින් දවස ගෙවී යද්දී සිතේ තිබූ අවසාන බලාපොරොත්තුවත් ක්‍රමයෙන් වියැකී යන්නා සේ මට හැඟුණි. 24 වැනිදා සිට මෙහෙයුම් කටයුතු සිදු කළද ඇතා සම්බන්ධ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වෙද්දී මහව අධිකරණයේ තිබූ දළ යුගලය දළ පූට්ටුවාගේම බවට වනජීවී නිලධාරීන් හඳුනා ගත්හ. එතැන් පටන් දෙනෙත පුරා කඳුළු බිඳු නැඟෙද්දී අහස කම්පා වී මහ වැසි වසිද්දී මට අවැසි වූයේ මේ සද්දන්තයාගේ ඉරණම විසඳුණු සැටි සොයන්නට මිස අන් කිසිවක් නොවේ. දින දින ගෙවී එකින් එක හිතේ පැතුමන් මියැදෙද්දී බොහෝ කරුණු කාරණා මතු වූයේ පුදුමාකාර වේදනාවන් මගේ සිතේ ඉතිරි කරමිනි. ඇතැම් පුද්ගලයෝ බොරු කටකතා පතුරුවමින් ඇතා ඝාතනය කර කැබැලිවලට කපා වළ දමා ඇතැයි කීහ. තවත් මිනිසුන් කියා සිටියේ ඇත් රජු පුලුස්සන්නට ඇති බවය. එහෙත් ඒ සියල්ලම ඔස්සේ මමත් වනජීවී නිලධාරීන් ඇතුළු පිරිස විමර්ශන කටයුතු සිදු කළේ කුසගිනි පවා ඉවසාගෙනය.

අවසන මගේ දෙනෙත් මටම අදහාගත නොහැකි විය. ආයාසයක් නොගෙන සිටින්නට වෙර දැරුවද ඒ උත්සාහය ඒ දර්ශනයෙන් ව්‍යර්ථ විය. එදා ගොජරාගම වෙල් ඉපනැල්ලේ ඒ මේ අත ඇවිදමින් මගෙ කැමරාව ඉදිරියේ රංගන පෑ ඇත් නිරිඳුන්ගේ ශරීරය බිම වැටී කුණු වී ගොස් තිබිණි. පාපතර නරුමයන්ගේ හිත් පිත් නැති කුරුමානම මේ තරම් නපුරු ලෙස දකින්නට සිදු වෙතැයි මම නොසිතුවෙමි. නමුත් ඒ දුගඳ දේහය අසල එතැනට රැස් වූ සියලු දෙනාම සුසුම්ලෑවේ අදහාගත නොහැකි නිසාවෙන්මය. නමුත් සියලු සාධක මත අවසානයේ වනජීවී නිලධාරීන් කියා සිටියේ මේ නිසල අප්‍රාණික මළ සිරුර ගල්ගමුවේ ඇත් නිරි¼දාගේ බවය.
සාහසික නරුමයන් ඒ අපරාධය කළේ කෙසේ දැයි කාහටත් සිතා ගත නොහැකිය.

ඇත් රජුනි…. පාපතරයන් කළ අපරාධයට අපට සමාවුව මැනව…

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close