තරුණ කාලෙ අනංගය නම් තමයි හැබැයි නා ගත්තෙ නම් නෑ – රවීන්ද්‍ර රන්දෙණිය

තරුණ කාලෙ අනංගය නම් තමයි හැබැයි නා ගත්තෙ නම් නෑ – රවීන්ද්‍ර රන්දෙණිය

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් ලෙස ඔහුව හැඳින්වීමට හැකිය. විටෙක ආදරණීය පෙම්වතා ද, දුෂ්ටයා ද වන්නේ ඔහුගේ රංගන හැකි

පුංචි තැනක ඉඳන් පටත් මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක් – රවීන්
මේ චිත්‍රපටය බලද්දී අපිත් එක්ක හිටපු දසුන් අද අපි අතරේ නෑ – චූලක්ෂි
මුත්‍රා සහ පිත්තාශ ගල් සුවකරන ප්‍රතිකාර

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් ලෙස ඔහුව හැඳින්වීමට හැකිය. විටෙක ආදරණීය පෙම්වතා ද, දුෂ්ටයා ද වන්නේ ඔහුගේ රංගන හැකියාව ගැන කියා පාමිනි. සිරිපාල රන්මැණිකා, දඩයම, අම්බඩා චිත්‍රපටවල නම් කියූ සැණින් අපට මතකයට නැගෙන්නේ ඔහුගේ විශිෂ්ට රංගන කුසලතාවයි. නමින් රවීන්ද්‍ර රන්දෙණිය කලාවට පිවිසියේ අහම්බෙන් වුවත් දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස පත්වන්නේ ඔහුගේ හැකියාව නිසාය. කලකට පසුව බොහෝ දේ ගැන කතා කරන්න ඔහු අප සමග එකතු වුණා.

කොහොමද කාලය ගතවෙන්නේ?
නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන අලුත් චිත්‍රපටයකට මම රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඊඩඥ ජ්ඪතථ ඊඥචථ ආයතනයේ විදේශ ටෙලි නාට්‍ය මාලාවන් රූගත කිරීම් පටන් ගත්තා.

විදේශ ටෙලි නාට්‍ය මෙරට විකාශය කිරීම ගැන මොකද හිතන්නේ?
අපට කියන්න බැහැ අපේ නාළිකාවල පෙන්වන්න ඕන ලංකාවේ දේවල් විතරයි කියලා. නමුත් විදේශීය ටෙලි නාට්‍යවලින් ඇතිවන බලපෑම ගැන අපි හිතන්න ඕන. මේ නාට්‍ය තුළින් සන්නිවේදනය වෙන්නේ ඒ රටේ හැසිරීම, අඳින පලඳින විදිහයි. අද ලංකාවේ ගොඩක් අය ඒවා ඉහළින් වැලඳගෙන වැඩ කරනවා. නාළිකා ප්‍රධානකොටම විකාශය කරන්නේ මේ නාට්‍ය. ඒ නිසා සිදුවන්නේ දේශීය කලාකරුවන්ට තියෙන අවස්ථාව අහිමි වීමයි.

ඇයි ඔබ පුංචි තිරයේ දකින්න නොලැබෙන්නේ?
පුංචි තිරය සංකීර්ණවෙලා තියෙනවා. නිෂ්පාදකවරුන්, ශිල්පීන්ට අවශ්‍ය මූලික පහසුකමක්වත් දෙන්න බැරිවෙලා තියෙනවා එක් කොටසකට ලැබෙන මුදල් ප්‍රමාණය අනුව. දවසකට පුදුමාකාර විදිහට මරව මරවා වැඩ ගන්නවා. අඩු මුදලකින් නිම කරන්න තමයි එහෙම කරන්නේ. එතැන අවස්ථාව හිමිවෙන්නේ නැහැ චරිතය වටහාගෙන හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න. කාලය හා මුදල කියන දේට හිරවෙලා සිටින නිෂ්පාදකයා කොහොම හරි ජාමේ බේරගෙන හදන්න කරන දෙයින් සිරකරුවන් වන්නේ රංගන ශිල්පියොයි.

එදා සහ අද සිනමා ක්ෂේත්‍රයේ වෙනස මොන විදිහටද ඔබ දකින්නේ?
අපි සිනමාවට පිවිසෙන්නේ 1970 කාලයෙයි. 1947 පටන්ගත් සිනමාව එක එක යුග පහු කරන් ඇවිත් තියෙනවා. ලංකාවේ හොඳම චිත්‍රපට හා හොඳ නිර්මාණකරුවෝ එන්නේ 1970න් පස්සේ. ඒ යුගය සිනමාව ජනතාව අතරට ව්‍යාප්ත වෙන්න හොඳ පසුබිමක් වුණා. ඒ වගේම මෙරට බලධාරීන් සකස් කරලා තිබුණා චිත්‍රපට සංස්ථාව බෙදාහැරීම වගේම හැම චිත්‍රපටයක්ම ප්‍රදර්ශනය කරන්න කටයුතු කළා. ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම චිත්‍රපට තිරගත කළා වගේම නිෂ්පාදකයාට ආදායමක් ලබන්න පුළුවන් වුණා. දැන් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩා ඉහිරුවලා තියෙන්නේ. අද වනවිට චිත්‍රපට නිෂ්පාදකයා බෙදාහරින්නා අතේ සිරකාරයෙක් බවට පත්වෙලා. 2001 වර්ෂයේ ඉඳලා අවුරුදු 16ක කාලයක් සිරගත වීම තුළ පාඩු ලබනවා.

70-80 දශකය සිනමාවේ ස්වර්ණමය යුගය. ඒ ශිල්පීන් අද අධෛර්යයමත් වෙලා තියෙනවා. ඒ හිඩැස පිරවුණේ නැහැ. විවිධ ගැටලු නිසා එහෙම වුණා. විශේෂයෙන් යුද්ධය නිසා චිත්‍රපට මග හැරුණ ප්‍රේක්ෂකයා අද ඉන්නේ ටෙලිවිෂන් ඉස්සරහා.

වර්තමාන පරපුර ගැන මොකද හිතෙන්නේ?
බහුතරයක් ඉන්නේ දක්ෂතාවලින් යුක්ත අය. ඔවුන්ට හොඳ හැකියාවක් තියෙනවා. ඔවුන්ව අපි ධෛර්යමත් කරන්න ඕන. මේ ක්ෂේත්‍රයේ අනාගතය රැඳිලා තියෙන්නේ ඔවුන්ගේ අතේ. ඒ අයට තියෙන ප්‍රධාන බාධකය තමයි අද ඔවුන්ගේ නිර්මාණ හැකියාවන් පෙන්වන්න පුළුවන් කෘති බිහිවෙන්නේ නැහැ. යන්ත්‍රානුසාරයෙන් ටෙලි නාට්‍ය නිපදවීම නිසා ඔවුන්ගේ හැකියාවන් එළිදක්වන්න වෙන්නේ නැහැ. මේවට නාළිකාවලට තමයි ඇඟිල්ල දික් කරන්න වෙලා තියෙන්නේ. මොකද ඔවුන් කීයද එක් කොටසකට ගෙවන්නේ. ටෙලි නාට්‍යකරලා මිලියන 23ක 24ක ලාභයක් ලබනවා නාළිකා. නමුත් ඔවුන් නාට්‍ය කොටසකට ගෙවන්නේ ලක්ෂ එකහමාරක් එක්ලක්ෂ විසිපන්දහසක් වගේ මුදලක්. මේ ලබන ලාභයෙන් සාධාරණ මුදලක් ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ට ගෙවන්න ඕන. මීට අවුරුදු පහළොවකට විස්සකට කලින් එක් කොටසකට ලක්ෂ තුනක් හතරක් ගෙව්වා. අද වෙන දෙයින් වෙන්නේ හොඳ නිර්මාණ බිහි නොවීමයි.

වර්තමාන ක්ෂේත්‍රය ගැන කලකිරීමක්ද ඔබට තියෙන්නේ?
ක්ෂේත්‍රය ගැන නම් කලකිරීමක් නැහැ. මෙහි ක්‍රියාකාරීත්වයට දායක වන අය ගැන කලකිරීමක් තියෙන්නේ. මොකද කවදාවත්ම මේ ක්ෂේත්‍රය ගැන කලකිරෙන්න බැහැ. අපිව ජීවත් කළේ මේ ක්ෂේත්‍රයයි. නමුත් විය යුතු දේවල් නොවීම නිසා කලකිරෙනවා. සිනමාව ගත්තහම අද එය තියෙන්නේ බෙදාහරින්නන්ගේ සංගම් අතේ. ඔවුන් තමයි සියලු තීන්දු තීරණ ගන්නේ.

දරුවන් ඔබේ අඩිපාරේ යමින් කලාවට යොමු නොවීම ගැන මොකද හිතන්නේ?
ඒ අය එහෙම යොමුවුණේ නැහැ. මම ඉපදෙන්නෙත් ව්‍යාපාරික පවුලකින්. මගේ පවු‍ලේ සහෝදරියන් දෙන්නාම ව්‍යාපාර නොකළාට අනෙක් සහෝදරයෝ තුන්දෙනාම ව්‍යාපාර කළා. මම කලාවට යොමුවුණා. මගේ ජීවිතයම අද කලාව බවට පත්වෙලා. තාත්තා කලාකාරයෙක් වුණා කියලා දරුවෝ එතැනට ගියේ නැහැ. ඔවුන් හොඳට ඉගෙන ගත්තා. බලෙන් කෙනෙක්ව යොමු කරන්න බැහැ. දක්ෂතාව අනුවයි ඔවුන්ට කලාවේ දිගු ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ලොකු පුතා ලංකාවෙන් පිට ජීවත් වෙන්නේ. එයා ‍පොඩි ඒකාංගික ටෙලි නාට්‍යයකට සම්බන්ධවෙලා තියෙනවා. මගේ දෙවැනි පුතා සමීර සංජානා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණා. ඊට පස්සේ චිත්‍රපටයට දෙබස් කියන්නේ නැතුව ලංකාවෙන් පැනලා ගියා. අද ඔහු මගේ නිෂ්පාදන සමාගමේ විධායක ධුරයක් දරනවා.

නවීන තාක්ෂණයත් සමග ගොසිප් කියන දේ අද වේගයෙන් ව්‍යාප්ත වෙන දෙයක් බවට පත්වෙලා නේද?
ඔව්, එදා මේ වගේ මාධ්‍ය තිබුණේ නැහැ. සේරම බලාගන්න පුළුවන් උපකරණ තියෙන නිසා වගේම තාක්ෂණය තියෙන නිසා මේවා වෙන්නේ. මේවා පරිහරණය කිරීමේදී තමන්ට වගකීමක් තියෙන්න ඕන. මේ දේවල් හරියට දෙපැත්ත කැපෙන පිහි වගේ. මීට වඩා දියුණු තාක්ෂණයක් ඉස්සරහට එයි. මම කියන්නේ අනවශ්‍ය උන්මාදයකට යන්න හොඳ නැහැ. මෑත කාලයේ එවැනි දේවල් අපි දැක්කා. මට ෆේස්බුක් කියන එකක් නැහැ. ඒත් මගේ නමින් පවත්වාගෙන යන ඒවා කිහිපයක් තියෙනවා. රවින්ද්‍ර රන්දෙණිය ලියනවා, රවින්ද්‍ර රන්දෙණිය උත්තර දෙනවා. ඒ රවින්ද්‍ර රන්දෙණිය මම නෙවේ. මම කියන්නේ තාක්ෂණය අපට වුවමනා විදිහට පාවිච්චි කරන්න ඕන කියලා. ඒත් අපි එහි වහලුන් වෙන්න ඕන නැහැ.

ගෙදරදි කාලය ගත කරන්නේ කොහොමද?
ලැබෙන කාලය හරි අඩුයි. ගෙදර ගේට්ටුවෙන් එබිලා බැලුවොත් නළුවෙක් දකින්න ලැබෙන්නේ නැහැ. සරම් කොටයක් ගහගෙන මිදු‍ලේ ගස් ගල් එක්ක හැප්පෙන, උදැල්ලත් එක්ක වැඩ කරන, මිදුල අතුගාන කෙනෙක්වයි දකින්න පුළුවන් වෙන්නේ. මමයි, ප්‍රීතියි ගෙදර මිදුල ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ වගේම මම ව්‍යායාම කරනවා. විවේකය ලැබුණාම කියවනවා වගේම මම තෝරාගත්ත වැඩසටහන් කීපයක් බලනවා. සංගීතයත් රස විඳිනවා.

විවේකයක් ලැබුණහම යන්න කැමැති කොහෙටද?
අභයභූමිය ඇතුළට තමයි යන්න කැමති. ලෝකයේ තියෙන සුන්දරම තැන තමයි ඒ.

බිරිඳට ගෙදර වැඩවලට මොන වගේ සහයෝගයක්ද දෙන්නේ?
ඉවුම් පිහුම් වැඩේ මම දන්නේ නැහැ. උදව් වෙන්න පුළුවන්කමකුත් නැහැ. අනික අපි ඒ වැඩවලට උදව්වට යනවට ඒ අය එතරම් ප්‍රියමනාපත් නැහැ. උදව්වට වඩා ඒ අය හිතන්නේ අවුල් කිරීමක් කියලා. ඒ වැඩවලට උදව් නොකළත් පිළිවෙළට පිරිසිදු කරන්න උදව් කරනවා. මම කෑම කාලා මගේ පිඟාන සෝදලා සින්ක් එක පාවිච්චි නොකරපු විදිහට එතැන යථා තත්ත්වයට පත් කරනවා. ගෙදර උත්සවයක් තිබුණත් කොතරම් රෑ වුණත් නැවත ගේ යථා තත්ත්වයට පත් කරලා, පීරිසි පිඟන් කෝප්ප සෝදලා, ඒවා අහුරලා තමයි වැඩ අවසන් කරන්නේ.

ජීවිතේ දෙස ආපස්සට හැරිලා බලද්දි මොනවද හිතෙන්නේ?
හරිම තෘප්තිමත්. සමාජයේ ඉන්න හැටි, හැසිරෙන විදිහේ සිරා ගතියක් තිබුණට මම හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්. මම ඊයේ අදට ගේන්නේ නැහැ. අද බර හෙටට ගෙනියන්නේ නැහැ. මට හරියට තරහා යනවා. එහෙම වුණහම වාද විවාදවලට පැටලෙනවා. ඒ දේ ඒ වෙලාවට විතරයි. මම කිසිම බරක් හිතේ තියාගෙන ඉන්නේ නැහැ.

කරදර සහගත තත්ත්වයක් ආවහම මම හිතන්නේ මේකත් ඉවර වෙනවා කියලා. මට රඟපාන්න ආස චිත්‍රපට ලැබෙන්න ගිහින් නොලැබුණු අවස්ථාවලදී ඒ ගැන දුක්වෙලා නැහැ. සම්මාන ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් ඒ දේ නොලැබුණ තැන මම පසුතැවිලා නැහැ. මම කිසිම තැනක සම්මාන නොලැබිම ගැන විවේචනය කරලා නැහැ. ඒක ලැබිය යුත්තන්ට ලැබිලා ඇතිනේ කියලා මම හිතනවා. සිනමාවට පිවිසීම, එයට අවස්ථාව ලැබිම ගැන හිතාගන්න බැහැ. චිත්‍රපටවලට වැඩිය නාට්‍ය හරියට බැලුවා. ඒ නිසා පාඨමාලාවක් හදාරන්න ලයනල් වෙන්ඩ්ට් එකට බැඳුණා.

එතැනට ගියේ රඟපාන්න ‍නෙවෙයි, වේදිකා සැරසිලි කරන්න. අවුරුදු දෙකකට පස්සේ පළවැනි නාට්‍යයේ ප්‍රධාන නළුවා වෙලා එළියට ආවේ මම. ඒ විදිහට සිනමාවට පිවිසීම ජීවිතේ උතුම්ම භාග්‍යයක් කියලයි මම හිතන්නේ.

ප්‍රේමය ගැන කතා කළොත් පාසල් ප්‍රේමය සුන්දරයිද?
සුන්දරයි කියන්නේ අප්‍රමාණ සුන්දරයි. ප්‍රේමයයි එහි සුන්දරකමයි නැතුව ජීවත්වෙලා වැඩක් නැහැ. ප්‍රේමය ජීවිතයේ කොටසක්. තහංචි දාලා සමාජය වපර ඇහෙන් බලන්න ඕන දෙයක් ‍නෙවෙයි. මගේ තරුණ කා‍ලේ ‍පොඩි අනංග ස්වරූපයකුත් තිබුණා. ඒ එකක්වත් නාගත්තේ නැහැ.

ප්‍රථම ප්‍රේමය ගැන මතක් කළොත්?
මතකයි තවම. පෙම් කළා, ඒවා ප්‍රේම වෘත්තාන්ත ‍නෙවෙයි.

සිනමාවට පිවිසෙන්න කලින් සිනමාවේ ඔබේ සිහින කුමරිය වුණේ කවුද?
ලකංවේ නිළියක් මගේ සිහින කුමාරි වුණේ නැහැ. මාලනී එහෙම හරිම ලස්සනයි වගේම හරි ආකර්ෂණීයයි. ඊට කලින් මම කැමති වුණේ ටෝනි, ගාමිණී, විජය ගැන සිහින කුමරා වගේ තිබ්බා. ඉන්දියාවේ ආශා පරෙක්ට පුදුම ආසාවක් තිබ්බා. ඇය තමයි මගේ සිහින කුමරිය වුණේ. ඇත්තටම ආදරයක් වගේ තිබුණා. විජය මගේ යාළුවනේ. ඒ වගේම අපි පන්තියෙත් එකට හිටියේ. විජයට මගේ පුදුම කැමැත්තක් තිබුණා. ඒ වගේම ටෝනි රණසිංහගේ හිනාවට. සුගතපාල සිල්වාගේ චිත්‍රපටයට මාව තෝරාගෙන තිබුණා. එහි මුහුරත් උළෙල තිබුණේ අත්තනගල්ල පැත්තේ. ඒකට ආව ප්‍රධාන නිළිය මාලනී. ඇය හුඟක් ජනප්‍රියයි. ඒත් එහෙම හැඟීමක් ආවේ නැහැ. මාලනීත් ගිහින් කියලා තියෙනවා කවුද දන්නෙ නැහැ අර ලංසි කොල්ලෙක්ද දන්නේ නැහැ කියලා. හරි ගරුකරන චරිතයක් තමයි මාලිනී. අපි අතරේ තියෙන්නේ අබ මල් රේණුවකින් පලුදු නොවුණු සහෝදර බැම්මක්. මම තමයි නිළි රේන්ජ් එකක රඟපාපු නළුවා කියලා කයිවාරු ගහන්න පුළුවන්. මගේ පෙම්වතියට, බිරිඳට රංගනයෙන් දායක වුණා අයිරාංගනී සේරසිංහ මහත්මිය. අනුලා කරුණාතිලක, නීටා, මාලනී, ගීතා, ස්වර්ණා, සුමනා, ශ්‍රියානි කණ්ඩායම පහුකරගෙන සබිතා, වසන්ති, දිල්හානි, සංගීතා, ඊළඟ පරපුරේ නිළියන්ගේ පෙම්වතා වෙලා අනර්කලී ආකර්ෂාගේ පෙම්වතාට රඟපාලා තියෙනවා.

ක්‍ෂේත්‍රයේ වැඩ කරගෙන යද්දී නිළියන්ට හිත ගියේ නැද්ද?
නිළියකට හිත ගියා. ඉතින් එයාව බැන්දා. පී්‍රති රන්දෙණිය. ඒ තමයි පෙම් කරපු නිළිය.

ඔබෙන් ආදරය ඉල්ලගෙන ආවේ නැද්ද?
1971 තමයි පළමු චිත්‍රපටයට අත්සන් කරන්නේ. 1974 තමයි මමයි පී්‍රතියි විවාහ වෙන්නේ. ක්‍ෂේත්‍රයට ආව ගමන්ම කසාද බැන්ද නිසා ආදරය ඉල්ලගෙන එන්න බැහැනේ. ඒ වුණාට ආදරය කරපු අය හිටියා කියලා මට දැනිලා තියෙනවා. ආදරය කරන්න තරම් කාලයක් මම ඒ අයට දුන්නේ නැහැ.

එදා ආදරය කරපු පෙම්වතියන් එහෙම මුණගැහිලා තියෙනවද?
එහෙම දකින්නත් නැහැ. ඒ අය ජීවතුන් අතර ඇති. හම්බවෙන්නෙත් නැහැ. බැඳීම් ඉවර වුණහම ඒ දෙගොල්ලො සාමාන්‍ය පුද්ගලයෝ බවට පත් වෙනවා. ඒක හරි පුදුම දෙයක්. හමුවෙන්න, කතා කරන්න, දකින්න විදියක් නැහැ. ඒ දේ විශේෂයක් වෙන්නේ නැහැ. බැඳීම් නැති වුණහම, ප්‍රේමය නැති වුණහම ඒ කාන්තාව සාමාන්‍ය කාන්තාවක් බවට පත්වෙනවා.

තිළිණි කරුණාරත්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close