ටෙලි නාට්‍ය බැලෙන්නෙත් නෑ බලන්න දේකුත් නෑ – ජයලත් මනෝරත්න

ටෙලි නාට්‍ය බැලෙන්නෙත් නෑ බලන්න දේකුත් නෑ – ජයලත් මනෝරත්න

ජයලත් මනෝරත්නයන් කියන්නේ වේදිකාව සිනමාව රූපවාහිනිය යන මාධ්‍ය තුනම නියෝජනය කරන ක්‍ෂේත්‍රයේ සිටින අතිදක්ෂ කලාකරුවෙක් ඔහු වේදිකාවට නැතිව බැරි කෙනෙක් ලෙසත

එක රැයින් ලොව­පුරා ප්‍රසිද්ධ වුණු ගීත ගයන ට්‍රම්ප්
දැන් කට්ටිය බලාගෙන ඉන්නේ කවද්ද අපි වෙන්වෙන්නේ කියල – අංජුලා
පිටකොටුවේ නාට්ටාමි තරුව එම්. ජී. ආර්.

ජයලත් මනෝරත්නයන් කියන්නේ වේදිකාව සිනමාව රූපවාහිනිය යන මාධ්‍ය තුනම නියෝජනය කරන ක්‍ෂේත්‍රයේ සිටින අතිදක්ෂ කලාකරුවෙක් ඔහු වේදිකාවට නැතිව බැරි කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ අලුත් තොරතුරු දැන ගන්න මෙවර කතා බහට ඔහුට ඇරයුම් කළා.

මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල සාහිත්‍ය දේශන සඳහා පිට පළාත්වලට ගියා. චිත්‍රපට තුනකට දායක වුණා. මගේ නාට්‍යය සති අන්තයේ වේදිකාගත වෙනවා.

වර්තමානය වනවිට වේදිකාවට එකතු වන රසික පිරිස ඉහළ ගිහින් තියෙනවාද?
ලොකු වෙනසක් නැහැ. වැඩි පිරිසක් පුරුදුවෙලා තියෙනවා හාස්‍ය උත්පාදක නාට්‍ය නරඹන්න. ප්‍රමිතියක් ඇති නාට්‍යවලටත් සෙනග වැඩි වශයෙන් එනවා. මගේ නාට්‍යවලට නම් පිට පළාත්වලින් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.

එදාට වඩා ප්‍රහසන නාට්‍ය නිර්මාණය වැඩිවෙලා තියෙනවාද?
ප්‍රහසන කියන්නේ ලෝකය පිළිගත්ත රංගන ආකෘතියක්. ප්‍රංශයේ මොලියර්ගෙන් පටන් ගත්තාම … දක්වා අප ප්‍රහසන නාට්‍ය දකිනවා. ඒවා හුදු සිනහව පමණක් ‍නෙවෙයි. එය ඉතාමත්ම වැදගත් කාරණාවක්. ප්‍රහසන කියලා හඳුන්වන නාට්‍යවල තියෙන්නේ සිනහව පමණයි. ලංකාවේ හෝ ලෝකයේ බිහිවෙච්ච විශිෂ්ට ගණයේ නාට්‍යවල තියෙන්නේ සිනහව පමණක් නොවෙයි. හාස්‍ය සමග සමාජමය කියැවීමත් තියෙනවා. උදාහරණ ලෙස මහාසාර, කපුවා ක‍පෝති නාට්‍ය හඳුන්වන්න පුළුවන්. මේවයේ විනෝදාස්වාදය නොඅඩුවම තියෙනවා වගේම සමාජයමය විවරණයක් තියෙනවා.
අද නාට්‍යවලින් කරන්නේ හිනස්සලා අතාරින එක විතරයි.

ඇයි එවැනි නාට්‍ය බිහිනොවන්නේ?
ඇයි නාට්‍යයක් නිර්මාණය කරන්නේ නරඹන්නේ ඇයි? ඇයි ‍පොත්පත් කියවන්නේ, ගීත අහන්නේ? විනෝදය, සන්තෝසය ලබන්න. ඒ වගේම දෙවැනි අරමුණ තමයි ජීවිතය පිළිබඳ අලුත් අත්දැකීමක් ලැබිම. දැනුමක්, දැක්මක් ලැබිමට. මේ දෙවැනි අරමුණ අද හුඟ දෙනෙක් අමතක කරලා. ඒකයි සිනහව පමණක් තිබෙන නිර්මාණ බිහිවන්නේ.

ඒ වගේම අධ්‍යයනයක් නොකර නිර්මාණ බිහි කළාම මෙවැනි දේ වෙනවා. සමහර නාට්‍ය බලා ඉන්න බෑ පිළිකුල් සහගතයි. භාෂාව, දෙපිට කැපෙන වචන, කුණුහරුප ඔක්කොම තියෙනවා. එතැන රංගනයක් නැහැ.

වර්තමානය වනවිට හොඳ නිර්මාණකරුවෝ බිහිවීමේ අඩුවක් තියෙනවාද?
අපි නාට්‍යකලාවට ඇවිත් අවුරුදු පනහක් වෙනවා. තමන්ගේ කැපවීම, මහන්සිය, තමන්ගේ ශ්‍රමය, කාලය, ජීවිතය තමයි වේදිකා නාට්‍යවල තියෙන්නේ. එහෙම පිරිසක් අදත් ඉන්නවා. පුදුමාකාර දුක් වේදනාවක් විඳලා තමයි මේවට ඉදිරිපත් වෙන්නේ. හරි පහසුකමක් නැතිව තමයි ඔවුන් මේවා කරන්නේ. මේ පිළිබඳ දශක තුන හතරක් කතා කළාට තවමත් අපේ රටේ ඒ දේ දියුණු කරන්න අවධානයක් නැහැ. වැඩ කිරීම තුළින් තමයි අපට යුතුකම ඉෂ්ට කරන්න වෙලා තියෙන්නේ.

වේදිකාවට එක්වන තරුණ පිරිසගේ වර්ධනයක් තියෙනවාද?
ලොකු වර්ධනයක් තියෙනවා. තරුණ සේවා සභාව හරහා රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේ කෙටි නාට්‍ය වගේ දේවලින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නාට්‍ය වගේ දේවලින් අපට පේනවා තරුණ පිරිසගේ නැඹුරුව ඉහළ ගිහින් කියලා. කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන තමයි දේ දේවල් වෙන්නේ. අනෙක් ප්‍රදේශවල අඩුයි. නමුත් මෙය ප්‍රාදේශීයව ව්‍යාප්ත වෙන්න ඕන කියලයි මම හිතන්නේ.

වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන තුනම ඔබ නියෝජනය කරනවා. වෙහෙසකර නැද්ද?
නැහැ. මේ මාධ්‍ය තුන තුන් විදිහක්. අපි එක වතාවක එකටම සහභාගි වෙන නිසා මහන්සිය පිළිබඳ ගැටලුවක් ඇතිවන්නේ නැහැ. බොහොම සීරුවෙන් කාලය වෙන් කරගෙන තමයි කරන්නේ. රඟපෑමට ලැදියාවක් තියෙන අය ගත කරන්නේ බොහොම කලබලකාරී ජීවිතයක්. ඒ අයට වැඩ වැඩියි. ගොඩක් අධ්‍යයනය කරලා ඒ දේ කරන්න වෙලාවක් නැහැ. පෙනී සිටීමක් තමයි කරන්න තියෙන්නේ.

ඔබ චරිත තෝරා ගැනීමේදී මූලික අවධානය යොමු කරන්නේ කුමකටද?
හොඳ නිර්මාණයක් නම් චරිතය පිළිබඳ ගැටලුවක් නැහැ. හොඳ පිටපතක හොඳ අධ්‍යක්ෂණයක් නම් මම සම්බන්ධ වෙනවා. මම කරනවා නම් නාට්‍යයක් මමත් ඒ සඳහා සහභාගි වෙනවා.

වර්තමානයේ රංගනය හරහා මිනිසුන් අතරට යන්න පුළුවන් නිර්මාණ බිහිවීමේ අඩුවක් තියෙනවා නේද?
ටෙලි නාට්‍ය ගැන නම් මගේ උනන්දුවක් නැහැ දැන්. මුල් දවස්වල මම ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. අවුරුදු හතරක පහක ඉඳන් සම්පූර්ණයෙන්ම ටෙලි නාට්‍යයෙන් ඉවත්වෙලා ඉන්නේ. මම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළොත් විතරක් මම එහි රඟපානවා. ටෙලි නාට්‍යය බැලෙන්නෙත් නැහැ. බලන්න දේකුත් නැහැ.

ඇයි ටෙලි නාට්‍යවල රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න තීරණය කළේ?
ඒ වැඩ කරන කා‍ලේ පාඩුයි කියලා හිතුණා මට. එන්න එන්නම ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා අඩුයි දැන්. එය ව්‍යාපාරයක තත්ත්වයට වැටිලා තියෙන්නේ.

ටෙලි නාට්‍ය නිර්මාණකරණයෙනුත් ඔබ ඉවත්වෙලාද?
හොඳ නාට්‍යයක් කරන්න නම් ලොකු මුදලක් වැයවෙනවා. මුදල් වියදම් කරලා හොඳ නිර්මාණයක් හදලා විකුණන්න ගියහම අපට හෙට්ටු කරන්න වෙනවා බාල වර්ගයේ නිර්මාණත් එක්ක. පිරිවැය අඩු කරලා නිර්මාණයක් හැදුවොත් වෙන්නේ හොඳ නිර්මාණයක් බිහි කිරීමට නොහැකි වීමයි. උත්තම, මධ්‍යම, අවර කියලා තුනක් තියෙනවා. එයින් මධ්‍යම ගණය තෝරාගෙන තමයි නිර්මාණකරණයේ නියැළෙන්න වෙලා තියෙන්නේ. මම පහුගිය කාලයේ රූපවාහිනී නාට්‍ය අටක් නවයක් විතර කරලා තියෙනවා. කලා නිර්මාණ කරන්න නම් දැනෙන දෙයක් වෙන්න ඕන.

ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
සාර්ථකත්වයක් තියෙනවා. රැකියාවල නිරත වෙමින් තමයි මේවට යෙදුණේ. විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්වරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ ඇරෙන්න නිශ්චිත රැකියාවක් නැහැ. යෙදෙන කාර්යය තෘප්තිමත් නම් ඒක තමයි සාර්ථකත්වයේ සාධකයක් වෙන්නේ. එය අවංකව කැපවීමෙන් කරනවා නම් සාර්ථක වෙනවා.

ඔබ ගුරුහරුකම් ලබාගන්නේ අධ්‍යයනය කරන්නේ කවුද?
ලංකාවේ නම් ආයතන අඩුයි. අපි අපිම උත්සාහයෙන් වැඩ කිරීම තුළින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මුල් කාලයේ මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල සිල්වා, හෙන්රි ජයසේන මහත්වරු යටතේ වැඩ කරලා දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කිරීමෙන් වගේම ‍පොතපත කියැවීමෙන් තමයි ගුරුහරුකම් ලබන්නේ. මූලිකම දේ ජීවිතය අවබෝධ කරගැනීම, සමාජය කියැවීම තුළින් ගුරුහරුකම් ලබන්න පුළුවන්.

රංගනය හැරුණුකොට ජීවිතේ තෘප්තිමත් වන වෙනත් දේවල් මොනවාද?
සාහිත්‍ය තුළින් තමයි හුඟක් සතුටු වෙන්නේ. එකක් කියැවීම අනෙක් එක ලිවීම. කෙටිකතා, කවි, ගීත ලියනවා. හුඟක් හොඳ ‍පොත් කියවනවා. මේ සඳහා අලුතෙන් නැඹුරු වෙන තරුණ තරුණියන් එක්ක අපි දැනුම හුවමාරු කරගන්නවා. ඒ දෙයින් ලොකු සතුටක් ලැබෙනවා.

ඉදිරි සැලසුම් ගැන මතක් කළොත්?
පිට පළාත්වල සාහිත්‍ය දේශනවලට සහභාගි වෙන්න තියෙනවා. මගේ අලුත් වේදිකා නාට්‍යය වන ‘වන ලැහැබ’ හි පුහුණුවීම්වල නිරත වෙනවා. මේක අකිරා කුරසෝවාගේ රෂෝමන් චිත්‍රපටය පාදක කරගෙන රචනා කරපු නාට්‍යයක්. මෙහි ගීත රචනා කළේ රත්න ශ්‍රී මහත්මයා. සංගීතය නවරත්න ගමගේ මහත්මයා. රවිබන්දු විද්‍යාපති තමයි නර්තනය. මේ වැඩ ටිකෙන් ටික කරගෙන යනවා.

පවු‍ලේ විස්තර?
මමයි, මගේ නෝනා මහත්තයයි විතරයි දැන් අපේ ගෙදර ඉන්නේ. ළමයි දෙන්නම ගෙදරින් පිට ඉන්නේ. පුතා ඔස්ට්‍රේලියාවේ පදිංචිවෙලා ඉන්නේ. දුව විවාහවෙලා කෝට්ටේ පදිංචිවෙලා ඉන්නේ.

ඔබේ අඩිපාරේ යමින් දූ දරුවන් කලාවට යොමුනොවුණේ ඇයි?
දුව නම් සම්බන්ධ වුණේ නැහැ. නමුත් පුතා පුංචි කා‍ලේ ගොඩක් වැඩ කළේ චිත්‍රපටවල, රූපවාහිනී නාට්‍යවල. දැන් ඔහුට වෘත්තියත් එක්ක කාලය මිඩංගු කරන්න අමාරුයි.

තිළිණි කරුණාරත්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close