කොල්ලූපිටියේ ඔපදමන ස්ථානයකින් කෝටි 2ක නිල් මැණික ඉස්සූ අය මාට්ටු

කොල්ලූපිටියේ ඔපදමන ස්ථානයකින් කෝටි 2ක නිල් මැණික ඉස්සූ අය මාට්ටු

මැණික් ව්‍යාපාරිකයකු විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ මැණික් ඔප දමන ආයතනයකට ඔප දැමීම සඳහා බාරදුන් රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුතු නිල් මැණිකක් ස

මගෙයි ආක්ෂාගෙයි ඡායාරූප නිසා ගොඩක් දේවල් වෙනස් වුණා
ශ්‍රී ලංකාවට ලකුණු 168ක පරාජයක්
ජනාධිපතිවරයා දැඩි ප‍්‍රකාශ සිදු කළත් ඉන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු හානියක් නෑ – අජිත් පී පෙරේරා

මැණික් ව්‍යාපාරිකයකු විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ මැණික් ඔප දමන ආයතනයකට ඔප දැමීම සඳහා බාරදුන් රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුතු නිල් මැණිකක් සොරකම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු ‍පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සම්බන්ධව තොරතුරු අනාවරණය කිරීම සඳහා ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක,‍පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා විසින් ‍පොලිස් මූලස්ථානයේදී ඊයේ (17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදි.

පැමිණිලිකරු බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් නැමති අයෙකි.
මෙම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය ප්‍රදේශයේ මැණික් ඔප දමන ස්ථානයකට භාරදුන් මැණික ඔහු විදෙස්ගතව සිටියදී අස්ථාන ගතව ඇතැයි එම ආයතනයෙන් දැනුම්දී ඇත. ඒ අනුව ඔහු ඒ පිළිබඳව ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පැමිණිලිකර ඇත.

‍පොලිස්පතිවරයා එම විමර්ශන කටයුතු ත්‍රස්තවාදී විමර්ශන දිසාවට භාරදී ඇත. එම නිලධාරීන් මැණික් ගල මිලදී ගන්නා උපාය දූතයින් ලෙස ත්‍රිකුණාමලය, මූතූර් ප්‍රදේශයේ තෝපූර් බලා පිටව ගොස් ඇත. එහිදී මැණික් ගල ළඟ තබාගෙන සිටි තිදෙනකු මුලින්ම නිලධාරීන්ට ව්‍යාජ ගලක් පෙන්වා පසුව නිල් මැණික පෙන්වා ඇත.‍පොලිසිය එම සැකකරුවන් තිදෙනා සහ මැණික අත්අඩංගුවට ගෙන තිබේ.

50 හැවිරිදි මයිකල් ස්ටැනිස්ලස් නොහොත් පෙරියතම්බි,26 හැවිරිදි සදාසිවම් උදය කුමාර්, 32 හැවිරිදි කලි රහුමාන් මොහොමඩ් නවුෆර් එම සැකකරුවන් තිදෙනා බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක,‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. තිදෙනාම මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මයිකල් ස්ටැනිස්ලස් නොහොත් පෙරියතම්බි නැමති සැකකරුගේ බෑනා කෙනකු වන 30 හැවිරිදි වෙ‍ලේරියන් ජැන්සන් නමැති අය රියැදුරු වෘත්තියේ සේම පින්තාරුකරුවකු ලෙසද කටයුතු කරන අතර,ඔහු කොල්ලුපිටියේ පිහිටි ආයතනයේ පින්තාරු කටයුතු කරමින් සිටියදී මෙම මැණික් ගල සොරකම් කර ඔහුගේ මාමණ්ඩිය වන මයිකල් ස්ටැනිස්ලස් නමැති අයට විකිණීමට ලබාදී ඇත. ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් සිව්වන සැකකරු වන පින්තාරුකරුද කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔවුන් මෙම 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.

මෙම මැණික් ගල ‍පොලිසිය විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත්කර සහතිකයක් ලබාගෙන ඇත.එම මැණික් ග‍ලේ වර්ගය මිල අධික මැණිකක් වන ‘බ්ලූ සෆායා’ නමැති වර්ගයට අයත් බව අනාවරණය කර ඇත. එහි වටිනාකම රුපියල් 2,11,10,000 ක් බවට තක්සේරු කර ඇත. ‍පොලිස් උපාය දූතයින්ට මුලින් පෙන්වූ ව්‍යාජ ග‍ලේ වටිනාකම රුපියල් 1924 ක් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තක්සේරු කර ඇත.

සාලිය කුමාර ගුණසේකර

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close