කට්ටිය එකට අල්ලගෙන රොදට වගේ හිටියා, එක එක්කෙනාව ගසාගෙන යන්න ගත්තා

කට්ටිය එකට අල්ලගෙන රොදට වගේ හිටියා, එක එක්කෙනාව ගසාගෙන යන්න ගත්තා

මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ වැද්දා පැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි පවුල් දෙකක පුද්ගලයන් අට දෙනකු හදිසි දිය පහරකට හසු වී මියගොස් ඇති බව ලග්ගල ප

නැවත දැනුම් දෙන තුරු, මුහුදු යාමෙන් වළකින්න
රාගයෙන් මත්වුණ එයා මට කරපු දේවල් දන්නේ මං විතරයි
රවීන් කණිෂ්කගේ ‘ගලායන ගඟේ’

මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ වැද්දා පැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි පවුල් දෙකක පුද්ගලයන් අට දෙනකු හදිසි දිය පහරකට හසු වී මියගොස් ඇති බව ලග්ගල පොලිසිය කියයි.

මියගිය අය අතර කුඩා ගැහැනු දරුවන් හතර දෙනකු, පිරිමි දෙදෙනකු. කාන්තාවන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි. මේ ඛේදවාචකයට ගොදුරුව ඇත්තේ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක පුද්ගලයෝ බවද පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ සංචාරක හෝටල් හිමිකරුවකු වූ කිංස්ලි රත්නායක (40), ඔහුගේ දියණියන් වන රත්නායක මුදියන්සේලාගේ චිත්‍රානි රත්නායක (12), රත්නායක මුදියන්සේලාගේ හිරුනි දිල්හාරා රත්නායක (4), නැන්දණිය වන මානාවිටගේ චන්ද්‍රකාන්ති (59) වන අතර අනෙක් පවුලේ උදුවරගේ රවීන්ද්‍ර වසන්ත (38) ඔහුගේ බිරිය ජයමහා ආරච්චිගේ රමණි දිල්රුක්ෂි (37), ඔහුගේ දියණියන් වන උදුවරගේ ත්‍රිෂාන් වනිෂා (12) උදුවරගේ ඉමාෂා විදුෂා (7) යන අය වෙති.

මියගිය කිංස්ලි රත්නායක මහතා ලග්ගල ඇටන්වල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරමින් සිටින නිසා නාත්තණ්ඩිය ප්‍රදේශයේ තවත් මිතුරු පවුලක කණ්ඩායමක් සමඟ පසුගිය තුන් වැනිදා දින උදෑසන ලග්ගල ඇටන්වල ප්‍රදේශයට පැමිණ තිබේ. පසුව පවුල් දෙකේම පිරිස දිය නෑම සඳහා වැද්දා පැනි ඇල්ල ස්ථානයට ගිය බව මියගිය කිංස්ලි රත්නායක මහතාගේ බිරිය දුලීකා මාරසිංහ මහත්මිය පැවැසුවාය.

තම ස්වාමි පුරුෂයා දරුවන් දෙදෙනාත් මවත් අසල්වැසි මිතුරන්ගේ දරුවන් සහ එම දෙපළද දිය නාමින් සිටි බවත් තමා පියා ඉන්න ඉසව්වට යන අවස්ථාවේ දණහිසක් පමණ වතුර තිබුණු බවත් එකවරම විශාල ජල කඳක් රළ පහරක් සේ ගසා ගෙන පැමිණි බවත් ඇය පැවැසුවාය.
මෙම කණ්ඩායම දිය පහරට හසුව ගසා ගෙන යෑමත් සමඟ ප්‍රදේශවාසීන් පැමිණ ගසාගෙන ගිය පිරිස සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.
ලග්ගල පොලිසිය මෙන්ම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
පෙරේදා (4දා) පස්වරුව වන විට මියගිය පස් දෙනකුගේ මළ සිරුරු ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගොඩ ගනු ලැබූ අතර කුඩා දරුවන් තිදෙනකුගේ මළ සිරුරු සොයා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. එම අයගේ සිරුරු සෙවීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක සංගමය, ප්‍රදේශවාසීන්ගේ මෙන්ම යුද හමුදාවේ සහායද ලබාගත් බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති එම්.කේ. අමරසිංහ මහතා සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම පළාතට ඇදහැලෙන වැස්සත් ඉහළ ප්‍රදේශවලට ලැබෙන වර්ෂාවත් සමඟ නිරන්තරයෙන් ජලය විශාල වශයෙන් වැඩි වන බවය. සංචාරය සඳහා පැමිණෙන බොහෝ දෙනකු ඒ බව නොදන්නා බවත් ඔවුන් සඳහන් කරයි.

දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් කනහැරආරච්චි මහතා කියා සිටියේ නිරන්තරයෙන් සංචාරකයන් විශාල වශයෙන් වැද්දා පැනි ඇල්ල ප්‍රදේශයට පැමිණෙන නමුත් මෙහි අවදානම් තත්ත්වය පිළිබඳව දැක්වෙන දැන්වීම් පුවරුවක් හෝ සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් හෝ නොමැති නිසා මෙවැනි අනතුරු සිදුවන බවය.
සිද්ධිය ඇසින් දුටු කිංස්ලි රත්නායක මහතාගේ බිරිය දුලීකා මාරසිංහ මහත්මිය මෙසේ පැවැසුවාය.

‘මේ ප්‍රදේශයේ අපේ මහත්තයා හෝටලයක් ඉදි කරමින් ඉන්නවා. මීට දින කීපයකට පෙර එයා ඇවිල්ලා වැඩ බලලා ගියේ. අපේ මහත්තයාගේ යාළුවෙක්ගේ උපන්දිනය තිබුණා. එයාලා කිව්වා හෝටලයේ පැත්තට ගිහිල්ලා විනෝද වෙමු කියලා. එයාලා පදිංචි වෙලා ඉන්නේ පාරෙමයි. අපි තුන්වැනිදා තමයි මෙහෙට ආවේ.’

‘අපි නාන්න එනකොට දණිස් වටක්වත් වතුර තිබුණේ නෑ. මගේ චූටි දරුවා වතුරේ හිටියා. අනෙක් අය ඊට එහායින් හිටියේ. එයාගේ සෙරෙප්පු දෙකත් වතුරට ගසා ගෙන යනකොට එයා ඒක ගන්නත් උත්සාහ කළා. තවත් කට්ටියක් එතැන නාමින් හිටියා. මම එතැන ඉඳලා තාත්තා ඉන්න තැනට ගියා. තාත්තාගේ සෙරෙප්පු දෙක දෙන්න. මගේ පොඩි දරුවා අම්මට අල්ලගන්න කියලා තමයි මම තාත්තා ළඟට ගියේ. තාත්තා කිව්වා වතුර පාර හයියෙන් කඩාගෙන එනවා කියලා.

මම එතෙන්ට ඉක්මනට ගියා. වතුර පාර හයියෙන් එනකොට අපේ කට්ටිය එකට එක එක්කෙනා අල්ලගෙන රොදට වගේ හිටියා. මම හයියෙන් කෑ ගැහුවා හිමීට ගොඩට එන්න ගොඩට එන්න කියලා. ඒත් එන්න එන්නම වතුර පාර සැර වුණා. ඉස්සරලාම එයාලා අල්ලන් හිටපු රොදේ කැඩුණා. එක එක්කෙනා එක එක්කෙනාව ගසාගෙන යන්න ගත්තා. මගේ මහත්තයා ගසා ගෙන ගිහිල්ලා වැලක එල්ලිලා ගොඩක් වෙලා හිටියා ගොඩ එන්න උත්සාහ කරමින්. එතැන හිටපු කිහිප දෙනෙක් යකඩ කූරක් දීලා එයා උඩට ගන්න හැදුවා. යකඩ කූර අල්ලන්න හදනකොටම අතහැරිලා මහත්තයත් ගසාගෙන ගියා.

මගේ මහත්තයයි මගේ දරුවෝ දෙන්නයි මගේ අම්මයි ගසාගෙන ගියා. අපිත් එක්ක ආපු අනෙක් පවුලේ අයියයි එයාගෙ නෝනයි එයාලගේ දුවලා දෙන්නයි ගසාගෙන ගියා.

තෙල්ගමුව ඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ අය අතුරින් අට දෙනකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව වාර්තාවේ.
මෙම ඛේදවාචකය පිළිබඳ පුවත පැතිර යෑමත් සමඟ ප්‍රදේශයේ ජනතාව බලවත් ලෙස ශෝකයට පත් විය. මියගිය අයගේ සිරුරු අද (06දා) නිවෙස් කරා ගෙන ඒමට නියමිතය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close