අවුරුදු 15න් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයට පිවිස ලොවම ජයගත් මංජුල නාරායන

අවුරුදු 15න් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයට පිවිස ලොවම ජයගත් මංජුල නාරායන

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පුංචි ගමකින් ඇවිත් අද වන විට ලොව ප්‍රබලතම බහුජාතික ව්‍යාපාරවලට අභියෝගයක්‌ වෙමින් එම සමාගම් සමග කරට කර සිටින අතරම මුළු ව්‍යාප

“සර්, ඇත්තටම බැඳුම්කරයෙන් වංචාවක් වෙලාම නැද්ද?” රන්ජන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අගමැතිවරයාගෙන් අසයි
පුළුවන් නම් ඔයගොල්ලො යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි කියා ජනපති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට යයි.
විවාහය කියන්නේ මම මගහැරපු දෙයක් – නිරෝෂා

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පුංචි ගමකින් ඇවිත් අද වන විට ලොව ප්‍රබලතම බහුජාතික ව්‍යාපාරවලට අභියෝගයක්‌ වෙමින් එම සමාගම් සමග කරට කර සිටින අතරම මුළු ව්‍යාපාරික ක්‌ෂේත්‍රයම දික්‌විජය කළ ඔහු අද තම වෙළඳ නාමය පමණක්‌ නොව ශ්‍රී ලංකා නාමයද ලොව සියලු මහද්වීප කරා රැගෙන යන්නට සමත්වී තිබේ. අද ලොව පුරා අතුපතර විහිදුවා ඇති මරීනා එහෙමත් නැත්නම් NMK ව්‍යාපාර සමූහයේ අධිපති මංජුල නාරායන තමන් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ පැමිණි ගමන් මග අප වෙත කිව්වේ මෙන්න මෙහෙමයි.

මගේ පියා එන්. එම්. කරුණාදාස, මගේ අම්මා කේ. එම්. ආයුවර්ධන මැණිකේ. මගේ පියාට කඩයක්‌ තිබුණා ඉන්ද්‍රා ස්‌ටෝර්ස්‌ කියලා දම්වැල්ල, උහුමීය ප්‍රදේශයේ. මම 1978 දී මට ව්‍යාපාරික ක්‌ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඕන කියලා කිව්වම මගේ පියා මට කඩේ භාර දුන්නා. එතකොට මට වයස අවුරුදු 15 යි. එදා සේවකයෝ දෙදෙනෙක්‌ ගෙන් පටන් ගත් ව්‍යාපාරය අද වෙනකොට සේවකයෝ දෙදහස්‌ පන්සියයක්‌ සේවය කරන දැවැන්ත ව්‍යාපාරයක්‌ බවට මම පත් කර තිබෙනවා. ඊට අමතරව මේ ව්‍යාපාරයට විවිධාකාරයෙන් සම්බන්ධවන සැපයුම්කරුවන් හා විවිධගත ක්‌ෂේත්‍රවල පුද්ගලයන් ආදී ලෙස ගත්විට මේ හරහා ප්‍රතිලාභ ලබන තවත් පවුල් පහළොස්‌දහසක්‌ ඉන්නවා.

එදා ව්‍යාපාර ආරම්භ කරන විට මගේ පරමාර්ථය වුණේ ඒ ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන වලට, වී වලට පොල් වලට හරි මිලක්‌ ලබාදෙන්න. ඒ අයට නිසි තැනක්‌ දෙන්න. තෙල් මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් වරයා ලෙස 1986 සිට මා කටයුතු කළා. පොල්තෙල් මිල ටොන් එකක්‌ රුපියල් හත්දහසකට වඩා අඩුවුණු අවස්‌ථාවේ පොල් කර්මාන්තය රැකගන්න පොල් තෙල් ටොන් එක රුපියල් පහළොස්‌දහසක අවම මිලක්‌ ලබා ගන්න මම සටන් කළා. එහෙම නොකළා නම් පොල් වතු පවත්වා ගෙන යන්නට බැහැ.

එතකොට පොල් ගෙඩියකට ලැබුණේ සත අසූවක මිලක්‌. පොල් ගෙඩියකට රුපියල් දෙකක ස්‌ථාවර මිලක්‌ ලබා ගන්න මම සටන් කළා. ඒ මම ව්‍යාපාරය පැත්තෙන් බලලා නොවෙයි, රටේ ආර්ථිකය පැත්තෙන් බලලා.

අද පොල් ගෙඩියක්‌ රුපියල් සියයක්‌, එකසිය විස්‌සක්‌ වෙනවා. දැන් පොල්තෙල් ටොන් එකක්‌ රුපියල් ලක්‌ෂ හතරක්‌ වෙනවා.

ලංකාව ගොඩනඟන්න නම් අප වෙනස්‌ වෙන්න ඕන. අප හිතන විදිහ වෙනස්‌ වෙන්න ඕන. අපි හැම වෙලාවේම හිතන්නේ අපි පුංචි රටක්‌ කියලා, රටකට දියුණුවෙන්න ඒ රට පුංචි වීම ප්‍රශ්නයක්‌ නෙවෙයි. ස්‌විට්‌සර්ලන්තය අපට වඩා පුංචි රටක්‌. ස්‌විට්‌සර්ලන්තය විශාලත්වය වර්ග කිලෝමීටර් හතලිස්‌ එක දහසක්‌ තියෙන්නේ. අපේ රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් හැටපන්දාහක්‌. ජනගහනය අතින් ගත්තොත් ස්‌විට්‌සර්ලන්තයේ ජනගහනය ලක්‍ෂ 84 යි. අපේ රටේ ලක්‍ෂ 210 ක්‌ ඉන්නවා, අපි හැම වෙලේම හිතන්නේ අපි පුංචි නිසා කරන්න බැහැ කියලා. අපට සම්පත් නැති නිසා කරන්න බැහැ කියලා. ලෝකයේ ආහාර ගැන පර්යේෂණ හා නව නිපැයුම් වැඩිපුර කරන්නේ ස්‌විට්‌සර්ලන්තයේ. හැබැයි එයාල කෘෂිකර්මාන්තයෙන් ඉදිරියෙන් ඉන්න රටක්‌ නොවෙයි. ලොකු වෙළඳපොළකුත් නැහැ. එයාල අමුද්‍රව්‍ය තියෙන රටකුත් නොවෙයි. ඒ විතරක්‌ නොවෙයි ලෝකයේ ඖෂධ පර්යේෂණ කරන්නෙත් ස්‌විට්‌සර්ලන්තය. ඒ විතරක්‌ නොවෙයි වැඩිපුර බෙහෙත් විකුණන්නෙත් ස්‌විට්‌සර්ලන්තය. අද ස්‌විට්‌සර්ලන්තයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 78000 ක්‌. අපේ රටේ ඒක පුද්ගල ආදායම බස්‌නාහිර පළාතේ ඩොලර් 5100 ක්‌ වෙද්දී අපේ ග්‍රාමීය ප්‍රදේශ ගත්තම ඒක ඩොලර් 2700 ක්‌ මේක වෙනස්‌ කරන්න නම් අපේ කෘෂිකර්මාන්තය යළි දියුණු කරන්න ඕන. අපේ තියෙන සම්පත් වලට අගය එකතුකළ යුතුයි. අපේම නිෂ්පාදන අපි අපේ රටේ නිපදවන්න ඕන. මම කියන්නේ නැහැ විදේශීය වෙළඳ නාම ගන්න එපා කියලා. ඒත් ආර්ථිකය ශක්‌තිමත් කළ යුතුයි. ඉතිහාසයේ අපට ශක්‌තිමත් ආර්ථිකයක්‌ තිබිලා තියෙනවා.

හරි විදිහට හරි දෙයක්‌ දැකීම විතරයි රටක්‌ දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ. මරීනා , නියුටි්‍ර මරීනා , කොකෝ ලෑන්ඩ්, කප්තුර යන වෙළෙඳ නාම අප ලෝකයට හඳුන්වා දුන්නා , ඒ තුළින් විශාල ජයග්‍රහණ රැසක්‌ රටට අත්කර දුන්නා. ඕනෑම කෙනෙකුට තමන්ගේම සිහිනයක්‌ තියෙන්න ඕන. ඒකට දැනුම එකතු කරගන්න ඕන. ආත්ම විශ්වාසය තමයි වඩාත් වැදගත් වෙන්නේ.

අද ගොඩක්‌ ව්‍යාපාර තමන්ගේ වගකීම් හා වටිනාකම් අමතක කරනවා. ,මනුස්‌සයෙක්‌ ව්‍යාපාරික ගමන් මගේ ඉදිරියට යන විට තම ව්‍යාපාරයට වටිනාකම් එකතු කළ යුතුයි. ප්‍රතිපත්තිගරුක විය යුතුයි. ඒ තුළ විනය තියෙනවා. වගකීම, විශ්වාසය ඇතිවෙනවා. අපි අපේ පරිසරය ආරක්‌ෂා කළ යුතුයි. අපි කරන දේ වලින් මිනිසුන්ට හානියක්‌ නොවිය යුතුයි. අපි කරන දේවලින් අපේ නමට හානියක්‌ නොවෙන්නත් ඕන.

මේ සියලු දේ අතරේ අපට ඕනෑම අභියෝගයක්‌ ජයගන්න පුළුවන් කියල ආත්ම විශ්වාසය හැමවිටම අප තුළ තිබිය යුතුමයි.

අපි ලෝකෙට පොල්තෙල් හඳුන්වා දෙනකොට ලෝකයේ පොල්තෙල් ගැන තිබුණේ දුර්මත ගොඩක්‌. ඒ වෙනුවෙන් මහජන මතය හදන්න වසර විස්‌සක්‌ අපට සටන් කරන්න වුණා.

පොල්තෙල්, සන්ෆලවර් ඔයිල්, පාම් ඔයිල් හා සෝයාතෙල් අප අලෙවි කරනවා. ඒත් මගෙන් මේ අතරින් ශරීරයට හොඳම තෙල් වර්ගය මොකක්‌ද කියලා ඇහුවොත් මම කියන්නේ පොල් තෙල්. ඒත් මේ සේරම තෙල් වර්ග අප අලෙවි කරන්නේ පාරිභෝගික අවශ්‍යතාවය හින්දා.

ලෝකයේ මුලින්ම කිරි වලින් තොරව බටර් එකක්‌ හැදුවේ අපි. කොකනට්‌ බටර් එකක්‌ මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නේ අපි. ඒකට ඕස්‌ටේ‍්‍රලියාවේ රන් සම්මානය ලැබුණා. දැන් ශ්‍රී ලංකා වෙළඳපොළේත් මෙය අලෙවි කරනවා.

මම චෙරනිකා සමග 1992 දී විවාහ වුණා. මට දරුවෝ තුන් දෙනයි. උපේක්‌ෂා, තිවේදී දියණියන් සහ හර්ෂිත පුතා.

මම ව්‍යාපාර කළාට මගේ පවුල වෙනුවෙන් වෙන්කරන කාලය අඩු කළේ නැහැ. ඒ නිසා හොඳ පවුලක්‌ ගොඩනඟන්න පුළුවන් වුණා. කාලය කළමනාකරණය අතිශය වැදගත්. ගොඩක්‌ අයට කාලය කළමනාකරණය කිරීම අපහසු වෙලා තිබෙනවා .

තමන්ගේ පෞද්ගලික කටයුතුවලට, ව්‍යාපාරවලට, පවුලට, ආගමික කටයුතුවලට සමාජීය කටයුතු වලට කාලය වෙන් කර ගත යුතුයි. මම ඒ හැම කොටසක්‌ම නිවැරදි ආකාරයට කළමනාකරණය කළා.

මම 1978 දී තමයි මගේ දැක්‌ම ගොඩනඟන්න පටන් ගත්තේ. 1979 දී තමයි මම NMK ලෝගෝ එක නිර්මාණය කළේ . ඒකේ දකුණු ආසියාවයි, උතුරු ඇමරිකාවයි එකතු කරලා ලෝගෝ එක හැදුවේ. ඒත් මම සමාගම හැදුවේ 1982 දී. අද වෙද්දී හැම මහාද්වීපයකටම ව්‍යාපාර පුළුල් කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා.

අපේ ලෝගෝ එකෙන් පරිසරය රැකගෙන සෞඛ්‍යවත් ප්‍රීතිදායක ලෝකයක්‌ NMK සමාගම මගින් ගොඩනඟනවා කියන එක අපේ ලෝගෝ එකෙන් පෙන්නුම් කරනවා.

මට ගොඩක්‌ අභියෝග ආවා. ඒ වෙලාවට අපිට කවුරුත් නැහැ. අපට තනියම තමයි සටන් කරන්න වෙන්නේ. බහු ජාතික සමාගම්වලට ප්‍රශ්නයක්‌ එනකොට ඒ වෙනුවෙන් කතා කරන්න, පෙනී හිටින්න බොහෝ දෙනෙක්‌ ඉන්නවා. ඒත් අපේ රටේ සමාගමකට ප්‍රශ්නයක්‌ එනකොට අපිටම අපි වෙනුවෙන් පෙනී හිටින්න සිදුවෙලා තියෙනවා.

ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන්න ලාබ ලැබිය යුතුයි. ඒත් ව්‍යාපාර වලදී මුදල් විතරක්‌ හම්බ කරලා හරියන්නේ නැහැ. මුදල් කියන එක උපදින කොට අරන් එන්නෙත් නැහැ, යනකොට අරන් යන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති තමයි වටින්නේ.

උහුමීය දිවයින පත්තර ඒජන්සිය තවමත් තියෙන්නේ අපට. දැනට අක්‌කා තමයි ඒ ව්‍යාපාරය කරගෙන යන්නේ ඉන්ද්‍රා ස්‌ටෝස්‌ නමින්.

1978-1979 කාලයේ සහල් ව්‍යාපාරයටත් අතගැහුවා. ඒ ප්‍රදේශයේ වී එකතු කරලා සහල් සැකසුවා. 1982 දී NMK ඔයිල් මිල්ස්‌ පටන් ගත්තා ,

ප්‍රාග්ධනය ගොඩනගන්න ඕන නිසා වාහන ව්‍යාපාරයටත් අත ගැහුවා , මෝටර් සයිකල් ගෙන්නුවා, වාහන ගෙන්නුවා.

මුලින්ම සී. ඩබ්ලිව්. මැකී සමාගමෙන් සීනි තොග මිලදී ගෙන කුරුණෑගලට ගෙනත් විකිණුවා. පසුව මම තනියම සීනි ආනයනය කරලා විකිණුවා. ඒ විදිහට තමයි මම ප්‍රාග්ධනය සොයාගත්තෙ. ඒත් මගේ කැමැත්ත තිබුණේ මගේම නිෂ්පාදන කරන්න.

අද වෙනකොට හැම මහද්වීපයකම අප අලෙවි කටයුතු කරනවා. ලොව රටවල් 52 ක්‌ පුරා අපේ නිෂ්පාදන අලෙවි කරනවා. අප සමාගම හැම වෙලාවේම අලුත් දෙයක්‌ ලොවට දෙන්න අලුත් නිෂ්පාදනයක්‌ නිපදවන්න කටයුතු කරනවා.

අද මුළු ලංකාවම අපගේ නිෂ්පාදන වල තත්ත්වය සුරක්‌ෂිත බව පිළිගෙන තියෙනවා. ඉදිරියේදී නව නිෂ්පාදන රැසක්‌ මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනවා. ආහාරමය තෙල් වර්ග අලෙවියේ මෙරට ප්‍රමුඛතම සමාගම අපේ සමාගමයි.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close